ජාතික ප්‍රශ්නය විසඳීම ගැන මූලික දැනීමක් වත් ජනාධිපතිට නෑ: බාහු | VIDEO

ශ්‍රී ලංකාවේ අර්බුදය සමනය කිරීමට අත්‍යාවශ්‍ය වන ජාතික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් රටේ රාජ්‍ය නායකයන් හට අවබෝධයක් හෝ උවමනාවක් නැති නිසා රටේ ගැටුම්කාරී තත්වය උග්‍ර වීමට ඉඩ ඇති බවට ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුනු වාමාංශික නායකයෙක් අනතුරු අඟවා සිටී.

ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන් විසින්ද පිළිගෙන ඇති ස්වපාලනය, ස්වයංතීරණය සහ සමානාත්මතාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට “මූලික අවබෝධයක් වත්” නැතැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

සමානාත්මතාව පමණක් පිළිගන්නා බව ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී, ආගම්වාදී  ප්‍රතිපත්තිය බවට ඔහු චෝදනා කළේය.

“මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී ආගම්වාදී  ප්‍රතිපත්තිය තුලින් දේශපාලනය ගෙනියන ගමනට මෙතුමා සම්බන්ධයි,” යනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමත් ජාතීන්ගේ අයිතිය පිළිගැනීම මත පදනම් ව ඇතැයි කී ඔහු පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ඒ සඳහා යෝජනා ඉදිරිපත් නොකිරීමද පක්ෂ නායකයා වන ජනාධිපතිවරයාගේ  අනුදැනුම යටතේ බවයි.

“ මේකට විරුද්ධතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් වලින් එනකොට එතුමා කට වහගෙන හිටියට ඒවා ඔක්කොම එන්නේ ජනාධිපතිතුමාගේත් සහයෝගය ඇතිව.”

ජාතීන්ගේ අයිතිය සම්බන්ධයෙන් ස්ථිරසාර විසඳීමක් ලබා නොදීම නිසා ආණ්ඩුවට එරෙහිව සිංහල නොවන ජාතීන් නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ අරගලකාරී මාවතට පිවිසීම පිළිබඳව කර ඇති  ප්‍රකාශ සිහිපත් කළ නව සමසමාජ පක්ෂ නායකයා එමගින් රට නැවත අස්ථාවර භාවය කරා යාමේ අවදානමක් ඇති බව පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය වර්ධනය කිරීම පිළිබඳව කතා කරන අගමැති රනිල් වික්‍රමසිංහද ජාතික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් ස්ථිරසාර වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකිරීම ගැන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ දෝෂ දර්ශනයට ලක්විය.

“ජාතික ප්‍රශ්නය විසඳන්න බැරිනම්, ජාතීන් බෙදිලා නම්, ආපහු ක්‍රමානුකුල ගැටුම්කාරී තත්වයක් නම් මතුවෙන්නේ,  එතකොට කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ කියන ප්‍රශ්නය තියෙනවා,” යි නසසප නායකයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතීන් කිහිපයක් ජීවත්වන රටක සමානාත්මතාවයෙන් පෑනක් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අවධාරණය කළේය.

Related posts

Comments are closed.

Top