පේරාදෙණි සරසවියේ පුස්කොල පොත් ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් අනතුරේ

විධිමත් සංරක්ෂණයක් සිදු නොවීම නිසා පුස්කොළ පොත් ඇතුලුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතු කෞතුක භාණ්ඩ රැසක් විනාශ වෙමින් පැවැති බව පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පියතිස්ස සේනානායක සදහන් කරයි.

නමුත් යෝජිත පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය නිසා එම උරුමයන් ඉදිරි පරම්පරාවන් සදහා රැක ගැනීමේ හැකියාව ලැබෙන බව පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේදී පැවැති උත්සවයේදී මහාචාර්යවරයා ඒ බව පවසා සිටියේය.

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ පුස්කොල පොත් සංරක්ෂණය කිරීමේ නව ක්‍රමවේදයට අනුව සංරක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක ගේ ප්‍රධානත්වයෙන් 15 අඟහරුවාදා සිදු විය.

විශ්ව විද්‍යාලයක් සතු විශාලතම පුස්කොල පොත් එකතුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතු වන අතර එය දෙවැනි වන්නේ කෞතුකාර දෙපාර්තමේන්තුවේ පුස්කොල පොත් එකතුවට පමණි.

එහිදී විශේෂ දේශනයක් පවත්වමින් මහාචාර්ය පියතිස්ස සේනානායක සදහන් කළේ පුස්කොල පොත් සම්බන්ධයෙන් අප උනන්දු වන්නේ මෙරට ඓතිහාසික උරුමය, සංස්කෘතිය, ආගම, කලා ශිල්ප, වෙදකම්, ගුප්ත ශාස්ත්‍ර ආදී නානාවිධ විෂයන් සදහන් වන්නේ පුස්කොල පොත් තුළ නිසා බවයි.

පේරාදෙණීය විශ්ව විද්‍යාලය  පුස්කොල පොත් 5200කින් පමණ සමන්විතයි.

කේ.ඩී.සෝමදාස මෙහෙවර 

“මේ සියලු පොත් සංරක්ෂණය විය යුතුයි. දීපවංශය රචනා වී තිබෙන්නේ ක්‍රි.ව.04 වන සියවසේදීයි. ක්‍රි.ව.5 හෝ 06 වන සියවස්වලදී මහා වංශය රචනාවීම ආරම්භ වුණා. නමුත් මෙහි මුල් පිටපත් අපට හමුවෙන්නේ නැහැ. බහුල වශයෙන් අපට හමුවන්නේ මහනුවර යුගයේදී යළි පිටපත් වූ පුස්කොල පොත් පමණයි”.

“විශාල පොත් ප්‍රමාණයක් විනාශ වෙලා. අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ගේ පාලන සමයේදී පුස්කොල පොත් රැසක් මහා බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ සියල්ල අද දක්වාම සංරක්ෂණය වී තිබෙනවා. අපට අවශ්‍යනම් මුදල් ගෙවා එහි පිටපත් ලබා ගත හැකියි”.

“පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතුව පළ නොවූ පුස්කොල පොත් රැසක් තිබෙනවා. හිටපු පුස්තකාලාධිපතිවරයෙකු වූ කේ.ඩි.සෝමදාස පුස්කොල පොත් රැස්කිරීම සදහා විශාල වශයෙන් වෙහෙස වුණා. වී අටුවක දොර වෙනුවට පුස්කොල පොතක්  තබා ඇතැයි ලැබුණු තොරතුරක් අනුව ඔහු එය බලන්න ගොස් තිබෙනවා. කරුණ ඇත්ත. අටුවට දොරක් නැහැ. ඒ වෙනුවට පුස්කොල පොතක් හේත්තු කර තිබිලා. ඔහු නිකම්ම පොත ඉල්ලා නැහැ. කැලයට ගොස් ගසක් කප්පවා  අටුවට සුදුසු දොරක් සදවා එය සවිකර දීමට කේ.ඩී.සෝමදාස කටයුතු කර තිබෙනවා. දොර සවි කිරීමෙන් පසු පුස්කොල පොත ලබා ගෙන එය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගෙන ඒමටයි එතුමා ක්‍රියා කළේ”. මහාචාර්යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක එහිදී කියා සිටියේ විශ්ව විද්‍යාලයක පොත් පරිශීලනය කිරීම විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු සීමිත විද්‍යාර්ථීන්ට සීමා වී තිබුණත් ඉදිරියේදී අධ්‍යයන කටයුතු සදහා කැමති අයට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බවයි.

“පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතුව විශාල පොත් සම්භාරයක් තිබෙනවා. ඇතැම් අත් පිටපත් පළ වී නැහැ. නමුත් විවිධ ක්ෂේත්‍ර පිළිබදව අධ්‍යයන කරන අයට අවස්ථාවක් හිමිවන්නේ නම් විශාල තොරතුරු ප්‍රමාණයක් ඔවුන්ට ලබා ගත හැකියි. දැනටමත් ඕනෑම විශ්ව විද්‍යාල සිසුවෙකුට සිය හැදුනුම්පත පෙන්වා තහවුරු කිරීම තුළින් මෙම විශ්ව විද්‍යාලයේ පොත් පරිශීලනය කිරීමේ අවස්ථාව තිබෙනවා.”

ඉදිරියේදී මෙම විශ්ව විද්‍යාලයේ දැනුම සමාජගත කළ හැකි නව ක්‍රමයක් යොදන බව ද උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts

Comments are closed.

Top