ඇත්ත දැනගත්තොත් මුල්ලිවයික්කාල් සමරුව හරි කියා දකුණට තේරේවි – විග්නේස්වරන්  | VIDEO

යුද්ධයෙන් මළ තම සමීපතමයන් අනුස්මරණය කරමින් උතුරේ දෙමළ ජනතාව සමරු දිනයක් පැවැත්වීම හෙලා දකින දකුණු ශ්‍රී ලංකා වාසීන් සත්‍යය වටහා ගත් විට තමන්ගේ ක්‍රියා මාර්ගයේ නිවැරදි බව තේරුම් ගනු ඇතැයි උතුරේ මහ ඇමැති වරයා කියා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන වලින් හෙළිවී ඇති ආකාරයට අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් හැත්තෑ දහසක් යුද්ධයෙන් මාරු දැක ඇති බව මහ ඇමැති සී වී විග්නේස්වරන් යාපනයේ දී ගගන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ යුද්ධයෙන් නම අවුරුද්දක් ගතවෙන දා මුල්ලිවයික්කාල් වර්ග සංහාර දින සමරුව පැවැත්වීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව කටයුතු සූදානම් කරද්දීය.

මහ ඇමැති විග්නේස්වරන් ප්‍රමුඛ උතුරු පළාත් සභාව, යුද පීඩිත ජනතා සංවිධාන, සිවිල් සමාජ ආයතන සහ සරසවි ශිෂ්‍ය සංවිධාන ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් එක්ව 2018 මුල්ලිවයික්කාල් සමරුව පවත්වනු ලබන බව අපේ උතුරු නැගෙනහිර වාර්තාකරුවෝ පවසති.

යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන් තම ඥාතීන් සොයා ගැනීමත් දෙමළ ජනතාවගේ බලවත් අවශ්‍යතාවක් බව මහ ඇමැතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

“භාර වූ අය අතුරුදහන් වෙලා, ආණ්ඩුව උත්තර දෙන්න ඕනේ.”

දෙමළ ජනතාව විසින් සමරනු ලබන්නේ ත්‍රස්තවාදීන් බවට දකුණේ ඇතැම් සිංහල මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම් කරන හෙලා දැකීම් ද සත්‍යය හෙළි කර ගැනීමේ වෙහෙසක් දරන්නේ නැතිව කරන ප්‍රකාශ බවට මහ ඇමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

වසරක් පාසා මැයි 18 දා  උතුරේ සමරනු ලබන්නේ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් බව පවසමින් සිංහල මාධ්‍ය වේදීන් පිරිසක් ඉකුත් සතියේ  රජයේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට  පැමිණ   විරෝධය පල කරනු දැකගත හැකිවිය.

“කිසිම දෙයක් කරන්නේ නැතිව, ඒගොල්ලෝ ඔක්කොම කොටියෝ, නැතිනම් ඒ ගොල්ලෝ ඔක්කොම ත්‍රස්තවාදියෝ කියාගෙන ඉන්න එක බොහොම වැරදියි කියලයි මං හිතන්නේ,” යි මහ ඇමැති විග්නේස්වරන් පැවසීය.

යුද්ධයෙන් මළ නිරායුධ ජනතාව සහ හමුදාවට භාරවී අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පීඩාවට පත් දෙමළ සැමගේම ඉල්ලීම බව උතුරේ මහ ඇමැති සී වී විග්නේස්වරන් වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top