හිදැස: මැයි දිනය, දුම්රියේ ජාතිවාදී ප්‍රහාරය, ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා 20 ව්‍යවස්ථා සංශෝධනය

සතියේ පළමු භාගය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මගින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම, භාෂා ද්විත්වයේම පුවත්පත් තුළ ප්‍රධාන තැන් ගෙන තිබිණි. දමිළ භාෂා පුවත්පත් මගින් වාර්තා කොට තිබුණේ අතුරුදහන් වූවන්ගේ පවුල් වල නෑසියන් විසින් මඩකළපුවේ එරාවූර් හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින ‍රැළියට එරෙහිව විරෝධතාවක් පැවැත්වූ බවයි. එම විරෝධතාකරුවන් විසින් යුක්තිය සහ සැනසීම ලැබ ගැන්ම උදෙසා වන තම ව්‍යාපාරයට ද්‍රෝහී වූ බවට ජනපති හට චෝදනා එල්ල කොට තිබිණි. කෙසේ වුවත් මෙම සිදුවීම් සම්බන්ධව වූ සිංහල පුවත්පත් වාර්තා වැඩි ප්‍රමාණයක් සිය අවධානය යොමු කොට තිබුණේ, 2020 න් පසුවද තමන් සක්‍රියව දේශපාලනයේ යෙදෙන බවට ජනපති සිරිසේන විසින් කළ නිවේදනය සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සිංහල නිලධාරියකු විසින් දුම්රියේ ගමන් කළ දමිළ කාන්තාවකට ආක්‍රෝශ පරිභව කළා යැයි පැවසෙනා පුවත සිංහල මෙන්ම දමිළ භාෂා සමාජ මාධ්‍ය ජාල තුළ සහ අදාළ අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ශීඝ්‍රයෙන් පැතිර ගිය පුවතක් වුවත්, දමිළ හෝ සිංහල පුවත්පත් තුළ අවධානය ලබාගැනීමට ඒ සමත්ව නොතිබුණි. කෙසේ වුවත් ෆේස්බුක් හි සිංහල පරිශීලකයන් අතර මෙය පුළුල්ව සාකච්ඡාවට බඳුන් වුනු මාතෘකාවක්ව තිබිණි. තවදුරටත් ගත් විට ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති දූෂණ චෝදනා යටතේ අත් අඩංගුවට ගැනීම සහ සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමේ තීරණයද දමිළ පුවත්පත් තුළ ආවරණය වී තිබුණේ ප්‍රවෘත්ති අංග ලෙසින් පමණි.

ජනපතිගේ ප්‍රතිපත්ති කථාවේ නව ව්‍යවස්ථාවකට ඉඩක් නැත

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ සිංහල මෙන්ම දමිළ පුවත්පත් ආවරණය විශාල වශයෙන් සෘණාත්මක විණි. ජනපතිගේ කථාව විස්තර කිරීම සඳහා දමිළ සහ සිංහල භාෂා දේශපාලන විචාරකයන් විසින් සිත් කළකිරවන සුළු’ සහ අසතු‍ටුදායක’ වැනි වදන් භාවිතා කොට තිබිණි.

දමිළ පුවත්පත් මගින් වෙසෙසින්ම විවේචනයට ලක් කොට තිබුණේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පොරොන්දු වූ පරිදි ජාතික ගැටළුව සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාමය විසඳුමක් දක්නට නැතිය යන කරුණයි. දමිළ පුවත්පත් ප්‍රධාන පි‍ටු තුළ ප්‍රධාන පෙළේ දමිළ සහ මුස්ලිම් දේශපාලන නායකයන් විසින් ජනපති වෙත විවේචන එල්ල කොට තිබුණේ මෙම මාතෘකාව අත් හැර තිබීම නිසාවෙනි. උදයන් කතුවැකිය මගින් හඳුනාගෙන තිබුණේ, වාර්ගික ගැටළුව විසඳීම සඳහා අර්ථාන්විත යෝජනාවක් නොතිබීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධානතම දුර්වලතාවය ලෙසිනි. ‘පළාත් පාලන ආයතනයන් සවිබල ගැන්වීම’ ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වන යාන්ත්‍රණයක් ලෙසින් ජනපති විසින් ඉස්මතු කොට දැක්වීම දමිළ පුවත්පත් මගින් අර්ථකතනය කරන්නට යෙදුනේ, එය ඔහු විසින් වර්තමාන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත් හැර දමා ඇති බවට වන සළකුණක් ලෙසිනි.

අනෙක් අතට මෙම ප්‍රකාශයේ ඇතුළත්ව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය සවිබල ගැන්වීම, දූෂණය මුලිනුපුටා දැමීම සහ ආර්ථිකය යළි පණ ගැන්වීම වැනි අනෙකුත් ඉලක්ක සිංහල පුවත්පත් මගින් චිත්‍රණය කොට තිබුණේ ජනපතිට සහ ඔහුගේ රජයට සැබෑ කර ගත නොහැකි සිහිනයන් ලෙසිනි. ප්‍රධාන සිංහල පුවත්පත් කතුවැකි මගින් පසුගිය වසර තුන පුරාවට වූ රජයේ දුර්වල ප්‍රගති වාර්තාව දක්වා තිබුණේ, රජය පිළිබඳ ඛේදසහගත අනාගත පුරෝකථනයට සාක්ෂ්‍ය ලෙසිනි. ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ නව ව්‍යවස්ථාව සඳහා න්‍යාය පත්‍රයක් නොමැති වීමේ ගැටළුව සම්බන්ධයෙන් සිංහල පුවත්පත් ආවරණයන් තුළ වූ අවධානය ඉතාමත්ම සීමිත වූ අතර, ඒ සම්බන්ධයෙන් දක්නට ලැබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් විසින් කළ ප්‍රකාශ මව්බිම සහ ලංකාදීප පුවත්පත් තුළ ලුහුඬු පුවත් ලෙසින් පළ වීම පමණි.

මුස්ලිම්වරුන් සහ 20 වැනි සංශෝධනය

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් විසින් පසුගිය දිනක පුවත් වාර්තාකරුවන් හට පවසා සිටියේ තම පක්ෂය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වනු ඇති බවයි. ඊට සමාන ප්‍රතිචාරයක් ‍ තමන්ද තෝරාගන්නා බවට අනෙකුත් මුස්ලිම් දේශපාලන නායකයින්ද ඉඟි පළ කොට තිබිණි. මෙම පසුතලය යටතේ සති අන්ත වීරකේසරී දේශපාලන ලිපියක් මගින්, විධායක ජනපති ධූරය අහෝසි කිරීමට ඇති සැලකිය යුතු මුස්ලිම් විරෝධයට සහාය දක්වන කරුණු දෙකක් විදහා දක්වා තිබිණි.

මෙම ලිපියෙන් තර්ක කොට තිබුණු ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය මගින් මුස්ලිම්වරුන් වැනි භූගෝලීයව විසිරී සිටිනා සුළුතරයන් හට ජාතික මෙන්ම ප්‍රාදේශීය තලයන්හිදී දේශපාලනමය කේවෙල් කිරීමකට වඩාත් වැඩි ඉඩක් ලබාදෙනු ඇත. එවැනි ජන ප්‍රජාවකට ජනාධිපති අපේක්ෂකයෙකු හට  සම්පූර්ණයෙන්ම සිය ඡන්දය ලබාදී, ඒ වෙනුවට සැලකිය යුතු දේශපාලනික රක්ෂණාවරණයක් සුරක්ෂිත කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත. තවදුරටත් දක්වන්නේ නම් විධායක ජනාධිපති විසින් පත් කරනා ආණ්ඩුකාරවරුන්ද බලවත් විධායකයේ ප්‍රාදේශීය හස්තයන් ලෙසින් ඉඳුරාම ක්‍රියාත්මක වන අතර, ඔවුන්ද ප්‍රාදේශීය තලයේදී එම ප්‍රජාවන් දැක්වූ ලැදියාවට ප්‍රතිචාර දැක්වීමට බැඳී සිටී. ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙ‍ටුම්පත මගින් යෝජනා කර සිටින්නේ, රජයේ මූලිකයා ලෙසින් ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුව මගින් ‍තෝරා පත් කරගන්නා ලෙසටයි.

ශ්‍රී ලාංකික රාජ්‍යයේ ඒකීය ස්වභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිතව පවත්වා ගැනීම උදෙසා විධායක ජනපති ක්‍රමය වැදගත් වන්නේය යන දෘෂ්ටියේ පිහිටා විධායකයට සහාය පළ කරමින් දැක්වුණු සිංහල ජාතිකවාදී තර්ක ප්‍රතික්ෂේප කරනා අතරම, කතුවරයා විසින් තවදුරටත් යෝජනා කොට සිටින්නේ විධායකය අහෝසි කිරීම මගින් උතුර-නැගෙනහිර දමිළ ආධිපත්‍යයක් සඳහා ඉඩ සැලසෙනු ඇති බවටයි. වෙනත් වචන වලින් පවසන්නේ නම්, තවදුරටත් ජනපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් පත් නොකරන නිසා ප්‍රාදේශීය පරිපාලනය දමිළ මහ ඇමැතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් අතින් සිදුවනු ඇති බවටයි. මෙය විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීමට දමිළ ප්‍රජාව සමත් වන අවස්ථාවකදී උග්‍ර ලෙස සැලකිල්ලට ලක් විය යුතු කරුණක් ලෙසින් දැක්වී තිබිණි.

දෙවැනි තර්කය යම් යම් මත පළකරන්නන් සහ මුස්ලිම් දේශපාලකයන් විසින් දරා සිටියත් එයින් ඒකමතික එකඟත්වයකින් යුතු අදහසක් නොදැක්විණි. මුස්ලිම් බුද්ධි පර්ෂදයන්හි ප්‍රබල කොටසක් මගින් අනුග්‍රහය දක්වා තිබූ අදහස වූයේ, රටේ සුළුතර අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි එකම මාර්ගය වන්නේ දමිළ සහ මුස්ලිම්වරුන් අතර සහයෝගිතාවය පමණක් බවයි.

Related posts

Comments are closed.

Top