“එකම ජාතිය, එකම ආගම කියා රට එක්සත් කරන්න හදන්නේ මෝඩයන්” මනෝ ගනේෂන්

ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ජාතීන් හා ආගම් වලට අයත් ජනතාව එකම ජාතියක් ලෙස හැඳින්වීම මහ ජාතියට යටත් කර ගැනීමට දරන වෑයමක් ලෙසින් ජාතික සහජීවනය භාර අමාත්‍යවරයා විසින් දැඩි ලෙස හෙලා දකින ලදී.

පුරවැසියන්ගේ බහුවිධ ස්වභාවය නොතකා “එකම ජාතිය එකම ආගම” මුල් කරගෙන රට එක්සත් කිරීමට කටයුතු කරන්නන් “මෝඩයන්” ලෙසින් අමාත්‍ය මනෝ ගනේෂන් ගේ දෝෂ දර්ශනයට ලක් වුනේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය නැගෙනහිර පළාතේ ජංගම සේවා පවත්වන අතරවාරයේ මඩකලපුව දිසාපති කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

“අදත් සමහර මෝඩයන්, එකම ජාතිය එකම ආගම කියන සංකල්පය නැවත මේ රටේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා,” යි අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේය.

“එහෙම නැතොත් දෙමල මුස්ලිම් කතෝලික මිනිස්සු ජීවත් වෙන්න ඕනේ මහ ජාතියේ ආගමට හා භාෂාවට යටත් වී තමයි කියා ඔවුන් හිතනවා. එකට ඉඩ දෙන්න බෑ.”

ආත්ම ගෞරවය බාල්දු කිරීම

රටේ එක්සත් භාවය හා සමගිය අනිවාර්යයෙන්ම රැකීම අත්‍යාවශ්‍ය බව කියා සිටි අමාත්‍යවරයා ඒ වෙනුවෙන්  සිංහලයන් මුල් පෙලේ පුරවැසියන් ලෙසත්, දෙමළ හා මුස්ලිම් ජාතීන් දෙවැනි පෙළ පුරවැසියන් ලෙස ජීවත් විමත් ප්‍රතික්ෂේප කර සිටියේය.

“රට එක්සත් විය යුතුයි, සමගි විය යුතුයි කියා අපේ ආත්මාභිමානය සහ ගෞරවය අතාරින්න බෑ. එක්සත් භාවය ගේන්නේ අපේ ආත්මාභිමානයයි, ආත්ම ගෞරවයයි බාල්දු කරලා නම් ඒ එක්සත් භාවය මට අවශ්‍ය නෑ. මේ රටේ දෙවැනි පුරවැසියන් ලෙස දෙමළ අයට මුස්ලිම් අයට ජීවත් වන්න බෑ. ඒ වගේම පළවැනි පුරවසියන් හැටියට සිංහල ජනතාව ජීවත් වෙන්නත් බෑ.”

රටේ එක්සත් භාවය ඇති කිරීමේ “පළමු, දෙවැනි හා තුන්වැනි කොන්දේසිය” වන්නේ සියලුම ජාතීන් සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වීම යැයි අවධාරණය කළ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්  “සමානාත්මතාවය නැතිව එක්සත් භාවයක් ගැන කතා කරනවා නම් ඒකට අපිට එකඟ වෙන්න බෑ,” යි වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

Comments are closed.

Top