පූර්ව පරීක්ෂාවක් නැතිව සෙබළුන් රට යවා ඇත්තේ විදේශ අමාත්‍යාංශයයි

ලෙබනනයේ බීරුට් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති 70 නිදහස් දින සමරුවේ දී

 

මානව හිමිකම් උල්ලංඝන කඩ කිරීම් සොයා බලන පූර්ව පරීක්ෂාවකින් තොරව එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා භට කණ්ඩායමක් යෙදවීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බව හෙළිවී තිබේ.

මතබේදයට තුඩු දී ඇති 49 දෙනකුගෙන් සමන්විත භට කණ්ඩායම UNIFIL නමින් හැඳින්වෙන ලෙබනනයේ සාම සාධක බලකායේ මෙහෙයුම් සඳහා යෝග්‍ය බවට අනුමැතිය ලබා දී ඇත්තේ නිව් යෝර්ක් නුවර පිහිටි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපති කාර්යාලය විසින් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

“එම භට කණ්ඩායම කිසිදු මානව හිමිකම් උල්ලංඝනයකට සම්බන්ධ නැති බවට ලිඛිත සහතිකයක් ඔවුන් UNIFIL බලකායේ සේවයේ යෙදවීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් ලබා දෙන ලදී,” යි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය විසින් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු වශයෙන් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විද්‍යුත් ලිපියක් මගින් එසේ දන්වා යවා තිබුනේ  නිව් යෝර්ක් නුවර සිට පල කෙරෙන ඉනර් සිටි ප්‍රෙස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී මැතිව් රසල් ලී විසින් කරන ලද විමසීමකින් අනතුරුවය.

සුපරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිසම විසින් ලබා දෙන නිෂ්කාශන සහතිකයකින් තොරව ශ්‍රී ලංකාව විසින් පෙබරවාරියේ ලෙබනන් යවන ලද භටයන් 49 දෙනා සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව මාධ්‍යවේදියා මහලේකම් ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් ගෙන් 22 සඳුදා විමසා තිබුනි.

එම 49 දෙනා මෙන්ම ලෙබනන් යැවීමට නියමිත තවත් 101 දෙනකු ද මානව හිමිකම් කඩ කර ඇත්දැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සොයා බලමින් සිටින බව මහලේකම් කාර්යාලයෙන් එවන ලද ඊ මේල් පණිවුඩයේ සඳහන් වෙයි.

ආපසු ගෙන්වීමේ වියදම ආණ්ඩුවට

දැනටමත් ලෙබනනයේ සේවයේ යොදවා සිටින භට කණ්ඩායමේ සාමාජිකයන් කිසිවකු ගේ හෝ මානව හිමිකම් චර්යාව සාම සාධනයට යෝග්‍ය නොවේ නම් ඔවුන් ආපසු ගෙන්වා ගැනීමේ වියදම දරන්නට සිදු වනු ඇත්තේ ශ්‍රී ලංකා රජයටයි.

එමෙන්ම රට තුලදී මානව හිමිකම් කඩ නොකළ බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සහතික කරන තුරු ඉදිරියේදී කිසිම සන්නද්ධ සේනා සාමාජිකයකු සාම සාධක රාජකාරි සඳහා බඳවා ගැනීමද සිදු නොවනු ඇත.

“UNIFIL බලකායේ සේවයේ යොදවා ඇති නිලධාරීන් 49 දෙනා සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවන්නේ නම් ඔවුන් ආපසු ගෙන්වීමට සහ ඒ වෙනුවෙන් වෙනත් භටයන් යෙදැවීමට වියදම් දරන ලෙස එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ඇත,” යි එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය ඉනර් සිටි ප්‍රෙස් මාධ්‍යවේදියාට යැවූ ලිපියේ දැක්වේ.

“මේ අතර, පූර්ව පරීක්ෂාව සඳහා අවශ්‍ය සැලසුම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සමග විධිමත්ව සිදු කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තෙමු. ශ්‍රී ලංකාවෙන් අලුතින් හෝ හුවමාරුවට හෝ භට පිරිස් තවදුරටත් එවීමට පෙර එම සැලසුම් හා අනුගත වීම අවශ්‍ය වෙයි.”

දෙමළ ඩයස්පෝරාව

ලෙබනන් යවන ශ්‍රී ලංකා භට පිරිසේ යෝග්‍යතාව පරීක්ෂාවට භාජන නොකර තිබීම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ලොවපුරා දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහියක් විසින් විමසනු ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම බලකායේ අණදෙන නිලධාරී ලෙස නම් කර සිටි ලුතිනන් කර්නල් රත්නප්පුලි වසන්ත කුමාර හේවගේ සේවයට බඳවා ගැනීම අත් හිටුවන ලද්දේ මීට මාසයකට පෙරය.

ලෙබනනයේ 12 වැනි සාම සාධක ආරක්ෂක කණ්ඩායම සඳහා 49 දෙනකුගෙන් සමන්විත භට කණ්ඩායමක් යැවීම මගින් ලංකා යුද හමුදාව එකඟතා කඩ කොට ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ කටයුතු සම්බන්ධීකරණය සඳහා යුද හමුදාව විසින් මසකට ඉහතදී අලුතින් ඒකකයක් පිහිටුවන ලදී.

රාජකාරියට විදේශගතවන සැම යුද සෙබලකුම මානව හිමිකම් කඩ නොකළ බවට සහතිකයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතින් ලබා ගත යුතු බව එම ඒකකය විවෘත කරමින් යුද හමුදාපති මහේෂ් සේනානායක පවසා තිබුනි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සාමාජිකයන් 56 දෙනකු ද ශ්‍රී ලංකාවේදී බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබන බව මානව හිමිකම් සංවිධානයක් විසින් ඔවුන් නම් කරමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක දෙපාර්තමේන්තුව (DPKO) ට මේ මස මුලදී දැනුම් දී තිබුනි.

ලෙබනනයේ බීරුට් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති 70 නිදහස් දින සමරුවේ දී UNIFIL සෙබළුන්ගෙන් නර්තනයක්

ආණ්ඩුවේ ප්‍රතිචාර නෑ

යුද අපරාධ ඇතුළු බරපතල කෙලෙසීම් කළ බවට චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් හා භටයන් සාම සාධක මෙහෙයුම් සඳහා යොදා ගැනීමට පෙර මානව හිමිකම් සෝදිසියකට යටත් කළ යුතු බවට රජය එකඟ වී ඇත්තේ 2016 දීය.

ශ්‍රී ලංකාවේ සෙබළුන් නිසි පරීක්ෂාවකින් තොරව එක්සත් ජාතීන්ගේ සාම සාධනයේ යෙදවීම සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම සහ නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා ගෙන් ගගන කළ විමසීම් වලට මේ තාක් ප්‍රතිචාර ලැබී නැත.

UNIFIL බලකායේ ශ්‍රී ලංකික සෙබළුන් 151 දෙනකු රාජකාරියේ යොදවා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සාම සාධක රාජකාරි සඳහා 2004 සිට භටයන් රට යැවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඩොලර් කෝටි 16 කට අධික මුදලක් මේ වන විට උපයාගෙන තිබෙන බව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

Related posts

Comments are closed.

Top