තමිල්නාඩු පොලිස් ඝාතන වලට එරෙහිව උතුරේ අම්මාවරුන් උද්ඝෝෂණයේ | VIDEO

අතුරුදහන් තම දරුවන් ඉල්ලා දින හාරසියයකට වැඩි කාලයක් අඛණ්ඩ උද්ඝෝෂණයක යෙදී සිටින කිලිනොච්චියේ මව්වරු බහුජාතික සමාගමකට එරෙහිව මුහුදින් එතෙර උද්ඝෝෂණයක යෙදුනු තවත් පිරිසකට වෙඩි තබා මරා දැමූ තමිල්නාඩු පොලිසියට කෝපය පළකරමින් විරෝධතාවක් පැවැත්වූහ.

උතුරු පළාතේ තවත් ස්ථාන කිහිපයකම විරෝධතා උද්ඝෝෂණ සහ මළවුන් සැමරීම් සිදු කරන ලදී.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, උතුරු නැගෙනහිර විප්ලවවාදී තරුණ ව්‍යාපාරය, පිඩිත ජනතා පදනම සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් එම උද්ඝෝෂණ සංවිධානය කර තිබුනු බව අපේ වාර්තාකරුවෝ පවසති.

ස්ටර්ලයිට් සමාගමට විරෝධය පා ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කළ ජනතාව ආයුධ බලයෙන් ඝාතනය කළ  තමිල්නාඩු රජය වහා ඉල්ලා අස්වන ලෙස උද්ඝෝෂකයෝ බලකර සිටියහ.

ශ්‍රී ලංකාවේ මන්නාරම් බොක්කේ තෙල් හැරීමේ නිරත බ්‍රිතාන්‍යය මුලස්ථාන කොටගත් වේදාන්ත සමාගම යටතේ පවතින ස්ටර්ලයිට් තඹ උණු කරන කම්හල වසා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණය කළ තමිල්නාඩුවේ තූත්තුකුඩියේ ජනතාවට පොලිසිය වෙඩිතැබීමෙන් මේ වනවිට අඩුම වශයෙන් 13 දෙනකු මියගොස් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති.

තම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ප්‍රාදේශීය රජයේ බලධාරීන් හමුවීම සඳහා මැයි 22 දා පෙළපාලියෙන් ගිය උද්ඝෝෂකයන්ට පොලිසිය විසින් පහර දී වෙඩි තබන ලදී.

පොලිස් වෑන් රියක් මත නැගගත් සිවිල් ඇඳුමින් යුත් දෙදෙනකු ඉලක්ක ගනිමින් උද්ඝෝෂකයන්ට වෙඩි තබනු වීඩියෝ දර්ශන වල සටහන් වී තිබේ.

“එකෙක් හරි මරන්න ඕනෑ,” යි පසුබිමින් කියනු ඇසෙන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

ඝාතන වලට එරෙහි දේශීය සහ ජාත්‍යන්තර විරෝධය හමුවේ ඉන්දීය බලධාරීන් කම්හල වසා දැමීමට තීරණය කර ඇත.

කම්හල නිසා සෞඛ්‍යයට, පානීය ජලයට සහ ධීවර කර්මාන්තයට බරපතල හානි සිදුවන බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් එය තවත් පුලුල් කිරීමට  උද්ඝෝෂණයේ යෙදී සිටින්නේ පෙබරවාරියේ පටන්ය.

කිලිනොච්චියේ උද්ඝෝෂණයේ යෙදී සිටි අම්මාවරුන්ගෙන්  ස්ටර්ලයිට් සමාගම ට මෙන්ම ඉන්දීය රජයටත් දැඩි විරෝධයක් පලවිය.

“මුල්ලිවයික්කාල් වර්ග සංහාරයයි – තූත්තුකුඩි ඝාතනයි එකම මාසයේ,  පොලිසිය යනු ඉන්දීය රජයේ කුලී හමුදාවකි සහ ඉන්දියාව දැන් තමිල්නාඩු දෙමළුන් මරන්නේ ඊළම් දෙමළුන් මැරුවා මදි ද” ආදී සටන් පාඨ රැගත් පුවරු ඔවුන් අතේ තිබෙනු දක්නා ලදී.

මන්නාරම් බොක්කේ තෙල් හැරීමේ නිරතව සිටින ප්‍රධාන සමාගම වන කෙයර්න් ලංකා, පරිසර විනාශක කර්මාන්ත සම්බන්ධයෙන් චෝදනා ලබන තූත්තුකුඩියේ ස්ටර්ලයිට් තඹ කම්හලේ මව් සමාගම වේදාන්ත  යටතේ පවතින්නකි.

Related posts

Comments are closed.

Top