ක්‍රිස්තියානි හා මුස්ලිම් විරෝධී ප්‍රහාර 2017 අවුරුද්දේ තවත් වැඩිවේ

ශ්‍රී ලංකාවේ බෞද්ධ නොවන ආගමික ප්‍රජාවට එරෙහිව දියත් කෙරෙමින් පවතින ප්‍රහාර පසුගිය අවුරුද්ද තුල තවත් උත්සන්න වී ඇති බව ඇමරිකා එක්සත් ජනපද රජයේ අලුත්ම වාර්තාවක් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ 2017 වසර සඳහාවූ නිල වාර්තාව ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සුළුතර ආගමිකයන් ට එරෙහි ප්‍රහාර “කිසිදු අඩුවකින් තොරව” සිදු කෙරුනු බවයි.

එම වාර්තාවේ දැක්වෙන පරිදි ක්‍රිස්තියානි හා මුස්ලිම් ලබ්ධිකයන්ට එරෙහිව දියත් වී ඇති ප්‍රහාර සංඛ්‍යාව සියය ඉක්මවයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය (NCEASL) උපුටා දක්වන වාර්තාව පවසන පරිදි දේවස්ථාන වලට පහර දීම්, දේවගැතිවරුන් සහ බැතිමතුන්ට එරෙහි බියගැන්වීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම දේවමෙහෙයට අවහිර කිරීම් 97 ක් වාර්තා වී තිබේ. 2016 වසරේ එම සංඛ්‍යාව 89 කි.

රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුව මුස්ලිම් විරෝධී ප්‍රහාර මාලාව උත්සන්න වී ඇත්තේ ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධවූ මාසය වන රාමසාන් සමයේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය (SLMC) විසින් වාර්තා කර ඇති පරිදි මැයි හා ජූනි දෙමාසය තුල පමණක්, ප්‍රචණ්ඩ  ප්‍රහාර 22 ක් දියත් කර තිබේ.

ප්‍රහාර වලට වගකිවයුතු බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් සමාජ මාධ්‍ය ජාලද ඒ සඳහා යොදාගත් බව සඳහන් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන්ද ඊට හවුල් බවට චෝදනා කරයි.

“බොදු බල සේනා වැනි බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම් විසින් සිංහල බෞද්ධ බහුතරයේ ආධිපත්‍යය උත්කර්ෂයට නංවමින්, ආගමික හා වාර්ගික සුළුතරයන්ට නිග්‍රහ කිරීම සඳහා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය  අඛණ්ඩව භාවිතයට ගන්නා ලදී,” යි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

“මුස්ලිම් හා ක්‍රිස්තියානි සුළුතරයන්ට එරෙහිව ආගමික වශයෙන් මෙහෙයවන ලද සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ආණ්ඩුවේ නිලධාරීන් සහ පොලිසිය ප්‍රතිචාර  දක්වා ඇත්තේ අවම වශයෙනි. නැතිනම් කිසිසේත් ප්‍රතිචාර දක්වා නැත. ආගමික සුලුතරයන් සහ ඔවුන්ගේ වන්දනා ස්ථාන වලට පහර දීම සඳහා රජයේ නිලධාරීන් හවුල් වු බවටද ඇතැම් වාර්තා ලැබී තිබේ.”

“නිරන්තරයෙන් වෛරක්කාරී ප්‍රකාශ කරන බෞද්ධ ජාතිකවාදී සංවිධාන කිහිපයක් අත්අඩංගුවට ගැනීමෙන් සහ විමර්ශනයට ලක් වීමෙන් වැළකී සිටීමේ මුක්තිය භුක්ති විඳින බව විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CPA) සඳහන් කරයි.”

උතුරේ පන්සල් හා බුද්ධශාසන අමාත්‍යාංශය

බෞද්ධයන් නොමැති තරම් වන උතුරු නැගෙනහිර යුද හමුදා අනුග්‍රහයෙන් පන්සල් ඉදි කිරීම නිර්බාධිතව සිදු කෙරෙද්දී ක්‍රිස්තියානි හා මුස්ලිම් වන්දනා ස්ථාන පවත්වාගෙන යාමට බෞද්ධ සංවිධාන හා එක්ව පොලිසිය අවහිර කිරීම ගැනද වාර්තාවේ සඳහන් වේ.

පොලිසිය ඒ සඳහා යොදාගෙන ඇත්තේ ආගමික ඉදිකිරීම් සඳහා බුද්ධශාසන අමාත්‍යංශයේ අවසර ලබාගැනීමට නියෝග කරමින් 2008 දී රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකි.

එම නියෝගයට බෞද්ධ නොවන ආගමික මධ්‍යස්ථාන ඉදි කිරීම සම්බන්ධයෙන් කිසිදු නෛතික පදනමක් නැති බවට නීති විශාරදයන් උපුටා දක්වමින් රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව කර ඇති අවධාරණය බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ද තහවුරු කර තිබේ.

හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ඉදිකිරීමේදී බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ  ලියාපදිංචි වීමේ අවශ්‍යතාවක් නැති බව මුස්ලිම් සමාජ ක්‍රියාධර හිල්මි අහමඩ් විසින් තොරතුරු දැනගනීමේ පනත යටතේ කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යංශ ලේකම් වරයා දැනුම් දී තිබේ.

“අලුතින් ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් 2008 ඔක්තෝබර් 16 දා නිකුත් කරන ලද චක්‍රලේඛය අදාළ වන්නේ බෞද්ධ ආගමික ස්ථාන සඳහා පමණක්  බව කාරුණිකව දැනුම් දෙමි,” යි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගුරුගේ මැයි 18 දා යවන ලද පිළිතුරු ලිපියේ සඳහන් වෙයි.

රාජපක්ෂ පාලනය පැවති 2014 අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් පවරා ඇති නඩු 42 ක් ද තවමත් නිමාවකට පත්වී නැති බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2017 වසරේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකාවේ නීතිඥවරුන් උපුටා දක්වමින් කියා සිටී.

මේ අවුරුද්දේ මුස්ලිම්වරුන්ට එරෙහිව කන්ද උඩරට දියත්වූ කැරැල්ල සම්බන්ධයෙන් සිංහල අන්තවාදී මහසෝන් බලකායේ නායකයා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

Related posts

Comments are closed.

Top