රුසියාවෙන් ගෙනා පිළිකා බෙහෙත් “රෝගීන්ට හානිකර නෑ”

පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවයක් ඇති නොවූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එමෙන්ම තවත් පිළිකා ඖෂධ වාර්ග 2 ක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසන්නේ.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු පැවැති රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

“පිළිකා රෝගීන් සදහා එක් ඖෂධයක් රුපියල් දෙලක්ෂ අසූදාහකට වැඩි මුදලකට ආනයනය කර තිබුනා. නමුත් මම රුසියාවෙන් ආනයනය කළ ඖෂධයක් රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදාහකට ලබාගෙන රෝහල්වලට නිකුත් කළා. එම ඖෂධය භාවිත කළ කිසිදු රෝගියකුට සංකූලතාවයක් ඇති වුයේ නැහැ. මෙම ඖෂධය රුපියල් 84,000 කට මෙවර ලබාගැනීමට මම පියවර ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිළිකා ඖෂධ දෙකක් ලියාපදිංචි කිරිම සදහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.” අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

“පළාත් සභා රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුනා. නමුත් පළාත් සභා පිහිටුවීමට කැමැත්ත පළ කළ මම පළාත් සභා රෝහල් පවරා ගන්නේ නැහැ. පළාත් සභාවල බලතල අඩු කිරීමටත් මම කැමැති නැහැ. පළාත් සභා රෝහල් සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය තරම් මුදල් ලබාදෙනවා. “

“ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් රෝහල්වලට පැමිණ ගොඩනැගිලි සාදන තුරු බලා සිටීමට සිදුව තිබෙනවා. එමගින් වෛද්‍යවරයා මානසිකව කඩා වැටෙනවා. එය හරිම දුර්වල තත්ත්වයක්. මාතලේ රෝහල දියුණු කිරීමෙන් මහනුවර මහ රෝහලේ පවතින තදබදය අවම කළ හැකියි. මානව සම්පත කඩිනමින් ලබාදීම පිළිබදව ගැටලුවක් පැවැතුන ද මානව සම්පත් සංවර්ධනය සදහා සියලු පියවර ගෙන තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම මගේ වගකීමයි.” අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.

Related posts

Comments are closed.

Top