වඳවී යන සතුන් ගැන ජගත් මහ සමුළුවක් එන වසරේ කොළඹදී

ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාඛ විශේෂ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (CITES) අත්සන් තබා ඇති රටවල් 183ක නියෝජිතයන් 4000 ක් පමණ සහභාගි වන මහා සමුළුවක් ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබේ.

එය ලබන වසරේ මැයි 22 දා සිට ජුනි 2  දා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු කරගෙන යන බව බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට යන මෙම සමුළුවේ දී තර්ජනයට ලක් වී ඇති සතුන් හා ශාඛ වෙළෙඳාම වළක්වා එම සතුන් හා ශාඛ ආරක්ෂා කිරීමේ ක්‍රමවේද ඇති කිරිම ගැන වැදගත් තීරණ ගණනාවක් ගැනීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී  පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පවසා තිබේ.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ජිනීවාහි පිහිටි CITES මහලේකම් කාර්යාලය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුමට ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා එහිදී අත්සන් තබා එය ජිනීවා නුවරට යැවීම සඳහා (CITES) හි ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ චන්ද්‍රසේන මාලියද්ද වෙත භාර දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඇමතිවරයා සදහන් කර ඇත්තේ සම්මුතියේ සාමාජික රටවල ඇමතිවරුන්, ප්‍රභූන් , රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු 4000 ක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙම සමුළුව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට විශාල රුකුලක් වනු ඇති බවයි.

එමගින් මෙරටට ආයෝජන අවස්ථා වර්ධනය කර ගත හැකි බවද ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා පවසා තිබේ.

වනජීවී ඇමති වශයෙන් සිටියදී 2016 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ පැවති (CITES) සමුළුවට ශ්‍රී ලංකාවෙන් තමා සහභාගි වූ බවත් වසර 3කට වරක් පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත් වීමට කටයුතු කළේ තමා බැවින් ලබන වසරේ මෙරට පැවැත්වෙන සමුළුවේ කටයුතු කැබිනට් මණ්ඩලට විසින් තමාට පවරා ඇති බවත් ඇමතිවරයා පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

Comments are closed.

Top