දකුණේ ගංවතුර බැසයයි, නියඟයෙන් උතුරු නැගෙනහිරට පීඩා

මහවැසි නිසා දකුණේ හටගත් ගංවතුර බැස යන අතර එක්ලක්ෂ එකොලොස් දහසකට අධික  උතුරු නැගෙනහිර ජනකායක් නියඟයෙන් පීඩාවට පත්ව සිටිති.

දිවයිනේ ආපදා කළමනාකරණ බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව එයින් සාතිශය බහුතරයක් වන 110143 ක් ඉන්නේ යාපනය දිස්ත්‍රික්කයේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා හි 1125 ක් ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල 120 ක්ද නියඟයෙන් පීඩාවට පත්ව සිටිති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි ඉදිරි දිනවල මඩකලපුව, යාපනය, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින්නේ  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයකි.

වෙනත් ප්‍රදේශවල ගංවතුර නිසා සිදුවූ ආපදා තත්වයේ යම් අඩුවීමක් දක්නට ඇතත් බස්නාහිර, සබරගමුව ගාල්ල හා මාතර ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි වැසි වැටීමේ අවදානමක් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ගගන හා කියා සිටියේය.

බස්නාහිර,සබරගමුව,දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල පවතින සුළං තත්ත්වය සහ වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

දිවයින හරහා විශේෂයෙන්, බස්නාහිර, දකුණු,මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැකි යයි එය වැඩිදුරටත් පවසයි.

Related posts

Comments are closed.

Top