‘මිත්‍රශීලී’ හමුදාපතිගෙන් උතුරේ ‘උපායශීලී’ මෙහෙයුමක් | VIDEO

ලක්ෂ එකහමාරකට වැඩි සේනාවක් රඳවා සිටින උතුරු නැගෙනහිර පලාත්වල යුද භටයන් දිගටම තබාගෙන සිටීමට සඳහා ශ්‍රී ලංකා හමුදා ප්‍රධානියා උපායශීලී ලෙස කටයුතු කරමින් ඉන්නා බවට උතුරේ මහ ඇමතිවරයා ව්‍යාපාරික ප්‍රජාවක් හමුවේ අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් යාපනයේ නව කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් යුද හමුදාපතිවරයා ‘මිත්‍රශීලී’ අයකු ලෙස හැඳින්වූ සී වී විග්නේස්වරන් පැවසුවේ ජාත්‍යන්තර වෙළෙඳපොල සඳහා උතුරේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට යුද හමුදාව බාධාවක් බවයි.

“හමුදාව මේ පලාත්වල දිගටම තබාගෙන ඉඳීම සඳහා අපේ මිත්‍රශීලී හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උපායශීලී අයුරින් කටයුතු කරගෙන යන බවක් පෙනී යනවා,” යි මහ ඇමැති විග්නේස්වරන් ප්‍රකාශ කළේ ව්‍යාපාර ප්‍රධානීන්, රජයේ නිලධාරීන් හා ආර්ථික විශේෂඥයන් ඇතුළු සභාවක් හමුවේය.

“අපේ වගාකළ හැකි සශ්‍රීක භුමිය, අපේ නිල හා පුද්ගලික ගොඩනැගිලි, අපේ ගෙවතු හා ගොවිපල පමණක් නොවේ, හෝටල් සහ ආපනශාලා ඇතුළු ව්‍යාපාර ඔවුන් අත්පත් කරගෙන ඉන්නවා. යුද්ධය අවසන් වී අවුරුදු නමයකට පසුවත් තවත් කල් රැඳී ඉන්නට ඔවුන් උපායක් සකසාගෙන ඉන්නවා. අපේ මිනිස්සුන්ට උදව් කරන බව පෙන්වන පොදු වැඩකටයුතු වලට සහභාගි වෙමින් පළාත හැර යන්නට අපේ ජනතාව ඉල්ලන්නේ නැති තත්වයක් උදා කරගන්නට උත්සාහ කරනවා.”

භූමිය හා සම්පත් කොල්ල කෑම

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන්ගේ ජීවිකාව රැකදීමට අවශ්‍ය භුමිය හා සම්පත් අයුතු ලෙස යුද හමුදාව විසින් පැහැර ගැනීම බරපතල ජනතා විරෝධයකට හේතුවී ඇති බව ද උතුරේ මහ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.

මහ ඇමැතිවරයා ඊට උදාහරණයක් ලෙසින් පෙන්වා දුන්නේ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන වල ආධාරයෙන් සිංහලයන් නැගෙනහිර වඩමරාච්චි මුහුදු තීරයේ ධීවර සම්පත කොල්ල කෑම නිසා ගැටුම් කාරී තත්වයක්ද උදාවී ඇති බවයි.

සාමකාමී වාතාවරණයක් තුල උතුරේ තවදුරටත් විශාල බල ඇණියක් රඳවා තැබීමෙන් ආණ්ඩුවද අර්බුදයකට මුහුණ පා ඉන්නා බව කී මහ ඇමැති විග්නේස්වරන්, ඊට විසඳුමක් ලෙස යුද හමුදාව සමාන කොටස් නමයකට බෙදා රටේ පළාත් නමයේ විසුරුවා හරින ලෙස යෝජනා කළේය.

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලැබෙන තුරු වාණිජ හා කර්මාන්ත කටයුතු දියුනු වීම අඩමාන සහගත බවට ඔහු අනතුරු අඟවා සිටියේය.

“බෙදුම්වාදය වෙනුවෙන් හඬ නැගීමෙන් බැහැර වී සිටින අපි අපත්, මුළු මහත් රටත් සංවර්ධනය කිරීමට මග සලසන ෆෙඩරල් ව්‍යවස්ථාවකට ජනතාවගේ සහාය දිනා සිටින්නෙමු.”

ෆෙඩරල් ව්‍යවස්ථාව පල දැරුවොත්, දෙමළ ඩයස්පෝරාව මහා පරිමාණයෙන් ආයෝජනය සඳහා ඇදී එනු ඇති බවට මහ ඇමැති සී වී විග්නේස්වරන් ඉමහත් විශ්වාසයක් පල කළේය.

Related posts

Comments are closed.

Top