හිදැස: ජනපතිගේ සෝභිත හිමි සමරු දෙසුම, OMP ප්‍රධානියා යුද පීඩිත මව්වරුන් හමුවීම හා අගමැතිගේ යාපන සංචාරය

ශැංග්‍රි-ලා හෝටලයේ පැවැත්වුණු ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත් මග’ සම්මේලනය පිළිබඳ සිංහල පුවත්පත් තුළ සැලකිය යුතු මට්ටමේ ආවරණයක් දක්නට ලැබුණද, දමිළ පුවත්පත් තුළ ඒ සම්බන්ධයෙන් වූ වාර්තාකරණය පසුගිය සතියෙන් පසු තියුණු ලෙසින් පහත වැටී තිබිණි. මීට සමාන ලෙසින් මහ බැංකු බැඳුම්කර ගනුදෙනු අර්බුදයේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් ඡන්ද ව්‍යාපාරය සඳහා ලබාදුන් මුදලක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් භාරගත් බවට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් කළ හෙළිදරවු කිරීම සම්බන්ධයෙන්ද දමිළ පුවත්පත් තුළ දක්නට ලැබුණේ සීමාසහිත වාර්තා ප්‍රමාණයක් පමණි.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම සතියේදී මුලතිවු හි අතුරුදන් වූවන්ගේ නෑසියන් මුණගැසුණු බව සිංහල පුවත්පත් මගින් වාර්තා කොට තිබිණි. මෙය වාර්තා කෙරී තිබුණේ ප්‍රවෘත්ති ලෙසින් පමණි. මීට ප්‍රතිවිරුද්ධ ලෙසින්, වින්දිතයන් විසින් රජයට එරෙහිව පවත්වා ගෙන යන විරෝධතාවය සහ එහි නිල දරන්නන් කෙරෙහි පෙන්වන සැක ශංකාවන් වෙත සවන් දෙන්නට යෙදුණු අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ ‍රැස්වීම දමිළ පුවත්පත් මගින් සම්පූර්ණයෙන්ම විස්තර විභාග සහිතව වාර්තා කරන්නට යෙදිණි. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් වූ දමිළ පුවත් වාර්තා මගින්, වින්දිතයන් මෙම කාර්යාලය කෙරෙහි දක්වන විශ්වාසය හීන බව හුවා දක්වා තිබිණි. මෙම වාර්තාවල අදහස් පළ වී තිබුණු ආකාරයට, බොහෝ වින්දිතයන් විසින් මෙම අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය යනු ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන ඔවුන්ගේ ව්‍යාපාරයට බාධා කිරීමේ අරමුණ සහිතව මූලිකව නිර්මාණය වූ රජයේ මෙවලමක්ය යන අදහස දරන්නේයැයි කියැවුණි.

සිරිසේන තමන්ටම හානි පමුණුවා ගනී

පසුගිය සතියේ කොළඹ පැවැත්වුණු පූජ්‍ය සෝභිත හිමිගේ 76 වැනි ගුණානුස්මරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ කථාව, භාෂා දෙකේම පුවත්පත් මගින් විශාල වශයෙන් සෘණාත්මකව දැක තිබිණි.

භාෂා දෙකේම පුවත්පත් මත දැක්වීම් තුළ ඒකමතිකව පැන නැඟී තිබූ අදහස වූයේ, ජනපති සිරිසේනගේ කථාව මූලිකවම තම ප්‍රතිරූපය නැවත සකස් කරගැනීමේ වෑයමක් බවයි. එනම් සමගි රජයේ අසාර්ථකත්වයන්ගෙන් තමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈත් කොට තබාගනිමින්, එහි වරද සෘජුවම එක්සත් ජාතික පක්ෂය වෙත පැවරීමේ ප්‍රයත්නයක් බවයි. එසේම පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින් ඔහුගේ කථාව අර්ථ නිරූපණය කර තිබුණේ, එය ඊලඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ජනපතිවරයා සූදානම් වන බවට හැඟවුමක් ලෙසයි.

කෙසේ වුවත් මෙම කථාව මගින්, ජනාධිපති ධූරය සම්බන්ධයෙන් වන ඔහුගේ තත්වය සවිබල ගන්වනු වෙනුවට ඔහුගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් පුවත්පත් තුළ නැගීමට කටයුතු සලසා තිබිණි. දමිළ මෙන්ම සිංහල පුවත්පත් තුළ දේශපාලන නිරීක්ෂකයන් විසින් අවධාරණය කොට පෙන්වා දුන් කරුණ වූයේ, විධායක ජනපති ලෙසින් ඔහු රජයේ අත්‍යවශ්‍ය කොටසක් වන බවත් එබැවින් එහි අසාර්ථකත්වය සඳහා වන වගකීමෙන් සැලකිය යුතු කොටසක් ඔහුටද බෙදී යන බවත් වුණි. විශේෂයෙන්ම මෙම මත දැක්වීම් මගින් හඳුනා ගැනී තිබුණේ, පෙනී ගිය ලෙසට ජනපති සිරිසේන විසින් යහපාලනයට ලැබුණු ජනවරමට වඩා තම පක්ෂයට ප්‍රමුඛතාවය ලබාදීම, ඔහු විසින් ඉ‍ටු කරනා බවට ප්‍රතිඥා දුන් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයන්ගේ ප්‍රගතිය සීමාසහිත වීමට ප්‍රධානතම හේතුව වූ බවයි. 2015 වසරේ ජනපතිවරණයට පසුව මහින්ද රාජපක්ෂ හට තංගල්ලට යෑම සඳහා හෙලිකොප්ටරයක් භාවිතා කිරීමට අවසර දීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ජනපති සිරිසේන විසින්ම කියා සිටීමද තියුණු විවේචනයන්ට බඳුන් විණි. ‘සිරිසේනගේ මුසාවන් සහ මුළා කිරීම්’ යන සිරස්තලයෙන් යුතු වූ උදයන් කතුවැකිය මගින් නිරීක්ෂණය කොට තිබුණේ, 2016 අප්‍රේල් 9 වන දින පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍රැළියේදී මහින්ද රාජපක්ෂ හට හෙලිකොප්ටරයක් ලබාදීම සඳහා අවසර දීම තමන් විසින් කළ උදාර ක්‍රියාවක් ලෙසින් දක්වමින් ඔහු ඒ වෙනුවෙන් ගෞරවය ලබාගත් බවයි.

සිංහල පුවත්පත් වලට වඩා වෙනස් වෙමින් දමිළ පුවත්පත් මගින් තවදුරටත් ජනපති සිරිසේනගේ කථාව දැක තිබුණේ, එය වඩ වඩාත් ගැඹුරු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයෙන් අවධානය වෙනතකට හැරවීම සඳහා භාවිතා කළ උපක්‍රමයක්ද ලෙසිනි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් පැවසුණු ලෙසට ජනපති සිරිසේන මෙම ගුණ සමරු උත්සවයට පැමිණියේ අනාරාධනයෙන්ය යන කරුණ සහ ඔහු අත්විඳිනා පීඩනය පිළිබඳ කථාව තිනක්කුරල් කතුවැකිය මගින් බැර කොට තිබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ මෑතකාලීන ක්‍රියාකාරකම් සහ රාජපක්ෂවරුන් ක්‍රමයෙන් ශක්තිමත් වීම වෙතටයි.

රනිල් වික්‍රමසිංහගේ යාපනය සංචාරය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සතියේ ඔහුගේ යාපනය සංචාරය අතරතුරදී සිදුකළ යම් අදහස් දැක්වීම් දමිළ පුවත්පත් තුළ සියුම් නිරීක්ෂණයට හසුවී තිබිණි.

පළමුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවීමක් අතරතුරදී අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, සංවර්ධනය සඳහා මධ්‍යම රජය මගින් වෙන් කළ ප්‍රතිපාදන වැය කිරීමට අපොහොසත් වූ එකම පළාත් සභාව වන්නේ උතුරු පළාත් සභාව වන බවටයි. උදයන් කතුවැකිය මගින් නිරීක්ෂණය කොට තිබුණේ මෙම ප්‍රකාශයේ යම් සත්‍යතාවයක් ඇති බවයි. දමිළ නායකයන්ගෙන් ලැබුණු පරස්පර විරෝධී සංඥා නිසා අවසානයක් නොදැක මග නතරවුණු පේදුරු තුඩුවේ වරායක් සෑදීම, වඩමාරච්චි වල ජල ප්‍රති ආස්‍රැතිකරණ බලාගාරයක් ඉදිකිරීම, යාපනය නගරයේ වෙළෙඳ උයනක් ඉදිකිරීම සහ වෙනත් එවැනි රජයේ යෝජිත ව්‍යාපෘතීන් උපුටා දක්වමින් උදයන් කතුවැකිය මගින් දමිළ දේශපාලන නායකත්වයට දොස් පවරා තිබුණේ, තමන්ගේ ප්‍රෝක්ත නොවැදගත් දේශපාලන අරමුණු නිසා ඵලදායී සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.

දෙවනුව උතුර සඳහා වන රජයේ ආර්ථික දැක්ම පිළිබඳව අසා සිටි පැනයන්ට ප්‍රතිචාර දක්වමින් අගමැති වික්‍රමසිංහ විසින් දමිළ දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට කියා සිටියේ, මූලිකවම ආර්ථික න්‍යාය පත්‍රයකට එකඟ වී ඉන් පසුව රජයත් සමගින් එය නගා සි‍ටුවීම ඔවුන්ට වඩාත් යහපත් වන බවයි. දමිළ පුවත්පත් මගින් මෙම ප්‍රකාශය දැක තිබුණේ පෙනෙන්නට ඇති දමිළ අසමගිය වෙත වක්‍රාකාරයෙන් එල්ල කළ පහරක් ලෙසිනි. යාපනය පදනම් කොටගත් පුවත්පතක් වන වාලම්පුරි කතුවැකිය මගින් යෝජනා කොට තිබුණේ, අග්‍රාමාත්‍යවරයා සැබවින්ම උතුරු පළාත සංවර්ධනය කිරීම සඳහා කැපවී සිටියේ නම් ඔහුට දමිළ නායකයින් හට මෙවැනි න්‍යාය පත්‍රයකට සූදානම් වන ලෙසින් පූර්ව දැනුම්දීමක් නිකුත් කර ඉන් පසුව යාපනය සංචාරය අතරතුරදී එම න්‍යාය පත්‍රයේ අන්තර්ගතයන් සාකච්ඡාවට ගන්නට තිබුණු බවයි. එනිසා වාලම්පුරි කතුවැකිය මගින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය අර්ථ නිරූපණය කොට තිබුණේ, සටකපට සහ අවස්ථාවාදී ලෙසින් ‘බෝල පාස් කිරීමක්’ ලෙසටයි.

තුන්වනුව අග්‍රාමාත්‍යවරයා විසින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හෝ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සඳහනක් නොකළ තරමි. ඒ වෙනුවට ඔහු විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ ආර්ථික සංවර්ධනය හරහා රජය විසින් උතුර සහ දකුණ යා කරනු ඇති බවටයි. වීරකේසරී ලිපියක් මගින් අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථිකය කෙරෙහි වන ඒකීය අවධානය ප්‍රශ්න කොට තිබුණු අතර, ගැඹුරු සමාජයීය සහ දේශපාලනමය ඉරිතැලීම් සඳහා තාක්ෂණතන්ත්‍රමය විසඳුම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුව විවේචනය කොට තිබිණි. සිංහල පුවත්පත් මගින් අග්‍රාමාත්‍යවරයාගේ යාපනය සංචාරය වාර්තා කොට තිබූ අතර එතැනින් එපිටට කිසිදු සාකච්ඡාවක් ගොඩ නඟා නොතිබුණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top