මන්නාරම සමූහ මිනීවල: තැන තැන දැමූ පස් ට්‍රක් 17 ක් ආපසු පරීක්ෂාවට | VIDEO

මිනිස් හිස්කබල්, හකුපාඩා ඇතුළු මිනිස් අස්ථි කොටස් හමුවූ මන්නාරම සතොස තොග ගබඩා භුමියේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට පෙර හාරා වෙනත් ස්ථාන වලට ගෙනයනු ලැබූ පස් ගොඩවල තිබී තවත් ඇටකටු සොයාගෙන තිබේ.

ප්‍රසිද්ධියේ කරන ලද ඉල්ලීමකින් අනතුරුව පළාත්වාසීන් විසින් සොයා දෙනු ලැබූ එම පස් තවදුරටත් විමර්ශනය කෙරෙන බව කැනීම් කටයුතු භාර ප්‍රධාන වෝහාරික නිලධාරියා පවසයි.

ට්‍රක් රථ දහහතක් පුරවා ලිය හැකි තරමේ මෙම පස් තිබී ඇත්තේ සතොස භූමියේ සිට කිලෝමීටර් 2 ත් 3 ත් අතර දුරක පිහිටි ස්ථාන හතරකිනි.

“සතොස භූමියෙන් ගෙනිහින් තවත් තැන් වල දාපු පස් තියෙනවා නම් ඒවායේ වැදගත් සාක්කි තියෙන්න පුළුවන්,” යැයි  මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමින්ද රාජපක්ෂ ගගන හා කියා සිටියේය.

“අපිට ඒ පස්  හොයා ගන්න බැරි උනොත් සාක්කි නැතිවෙලා යන්න ඉඩ තියෙනවා. ඒක පරීක්ෂණ වලට බාධාවක්. ඒ නිසා පස් ලබාගත්තු අය අපිට දැනුම් දෙන්න. පස් ගත්තයි කියලා නීතියෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.”

මන්නාරම සතොස තොග ගබඩා භූමියෙන් පස් හාරා ඉවත් කර ඇත්තේ  ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) විසින් බවද වෛද්‍ය සමින්ද්‍ර රාජපක්ෂ කියා සිටියේය.

මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු සිදු කරන 11 වැනි දිනය වන 11 සඳුදා ඊට සහාය වී පුහුණුවක් ලබාගැනීම සඳහා උපාධිධාරීන් 21 දෙනකුද එක් වී තිබේ.

එයින් 16 දෙනකු මහාචාර්ය රාජ් සෝමදේව යටතේ පුහුණුව ලබන කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වන අතර පස් දෙනකු කොළඹ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ වෝහාරික විද්‍යා උපාධිධාරීන්ය.

ජීවමාන පුහුණුවක් සඳහා වන දුලබ අවස්ථාවක් ඔවුන්ට එමගින් සැලසෙන බව මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මන්නාරම රදගුරු ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු ද සඳුදා සතොස සමූහ මිනීවල භුමිය නිරීක්ෂණයේ යෙදී සිටිනු දැකගන්නට ලැබිනි.

ඒ දිනයේ වැලි සහිත පොළොවින් මිනිස් හිස් කබල් කිහිපයක් සහ අස්ථි කොටස් අලුතින් මතුවූ බව ගගන මන්නාරම වාර්තාකරු පවසයි.

Related posts

Comments are closed.

Top