කැලම් මැක්රේ ගෙන් සුදු කොඩි ඝාතන ගැන තවත් චිත්‍රපටයක් | VIDEO

ශ්‍රී ලංකාවේ හමුදාව යුද සමයේ සාමාන්‍ය වැසියන් ඝාතනය කළ බවට දැක්වෙන සුදු කොඩි ඝාතන ඇතුළු චෝදනා රැගත් වාර්තා චිත්‍රපටයක් නිපදවීම නිසා අධිරාජ්‍යවාදී ගැත්තකු ලෙස හෙලා දකිනු ලැබූ කැලම් මැක්රේ විසින්  බ්‍රිතාන්‍ය හමුදා විසින් සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම හෙළිදරව් කරමින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය ජාත්‍යන්තර  සිනමා උළෙලක් සඳහා තෝරාගෙන තිබේ.

හතලිස් හත් වසරකට පෙර අයර්ලන්තයේදී අට දරු මවක් හා කතෝලික පියනමක් ද ඇතුළු එකොලොස් දෙනකු ඝාතනය කිරීම ගවේෂණය කෙරෙන “ද බැලිමර්ෆි ප්‍රිසීඩන්ට්” (The Ballymurphy Precedent)  බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් වාර්තා චිත්‍රපට උළෙලේ ජූනි 11, 12 දෙදින තිරගත කිරීමට නියමිතය.

මරණයෙන් දිවි ගලවාගත්තකු වන බොබී ක්ලාර්ක් චිතපටයේ විස්තර කරන පරිදි බ්‍රිතාන්‍ය පැරෂුට් රෙජිමේන්තුව පියනමට වෙඩි තබා ඇත්තේ සුදු කොඩියක් ඔසවාගෙන එද්දීය.

බටහිර බෙල්ෆාස්ට් නුවර බැලිමර්ෆි නිවාස සංකීර්ණයේදී 1971 දී ස්නයිපර් තුවක්කු කරුවකු විසින් මුලින්ම වෙඩි තබන ලද බොබී ක්ලාර්ක් තුවාල ලබා බිම වැටී සිටියදී ගමේ පල්ලියේ හියූ මුලන් පියතුමා උදව්වට පැමිණ ඇත්තේ හිසට ඉහලින් සුදු රෙදි කැබැල්ලක් වනමිනි.

ගිලන් රථයක් ගෙන්වා ගැනීම සඳහා දුරකතනය වෙත යන පියනමට හමුදා භටයන්  දෙවරක් වෙඩි තබා තිබේ.

මිනිත්තු 20 ක කාලයක් ඇතුලත පියතුමා මරුමුවට පත්වී ඇත.

ඔහු ඇතුළු 11 දෙනා මරා දමා පස් මසකින් පසු එම හමුදා රෙජිමේන්තුව විසින් තවත් නිරායුද කතෝලිකයන් 13 දෙනකු මරා දැමීම ලේ වැකි ඉරිදා (Bloody Sunday) නමින් ඉතිහාස ගතවී ඇත.

සත්‍යය හා සංහිඳියාව

බ්‍රිතාන්‍ය හමුදාවේ යුද අපරාධයක් වන බැලිමර්ෆි සමූහඝාතනය පිලිබඳ කතාව අනිවාර්යයෙන්ම හෙළි කළ යුත්තක් බව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ වාර්තාකරණයට නම් දැරූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා පවසයි.

“යුක්තිය ඉල්ලා ඥාතීන් ගෙනයන අරගලය පමණක් නොවේ, එම අපරාධය වසන් කිරීමට නිල වශයෙන් කියන කතාව සම්පූර්ණ ප්‍රබන්ධයක් බවත් මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරනවා,” යි කැලම් මැක්රේ පවසයි.

“තුවක්කුකරුවන් සහ තුවක්කු කාරියන්  ලෙස නිල වශයෙන් චෝදනා ලබන වින්දිතයන්ගේ ඥාතීන් සම්බන්ධයෙන් මේක බරපතල අයුක්තියක්. එපමණක් නොවේ, එය උතුරු අයර්ලන්තයේ සත්‍යය සහ සංහිඳියාව සඳහා යන මාර්ගයේ දැවැන්ත බාධකයක්”

දැනට 85 වැනි වියේ පසුවන බොබී ක්ලාර්ක් ඇතුළු මරා දමන ලද 11 දෙනාගේ ඥාතීන් හා හිතවතුන් 120 දෙනකුට වැඩි පිරිසක් සඳහා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් බැලිමර්ෆි නිවාස සංකීර්ණයේ දේවස්ථාන ශාලාවේදී පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ අපරාධ ගවේෂණය කරමින් කැලම් මැක්රේ නිපදවූ “නො ෆයර් සෝන්” චිත්‍රපටයේ සිංහල හඬ කැවූ පිටපත මෙතනින්.

ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ‘නෝ ෆයර් සෝන්’ රට තුල ප්‍රදර්ශනයට අනුබල දීම මගින් සත්‍යය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නැයි කැලම් මැක්රේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූ  අවුරුද්දේම ඉල්ලා තිබුනි.

එහි දැක්වෙන දර්ශන නිර්ව්‍යාජ බව ජනාධිපති කොමිසමක් විසින් තහවුරු කර ඇත.

Related posts

Comments are closed.

Top