බෝතල් වතුර කම්හලකට මඩකලපුවේ විරෝධතාවක් | VIDEO

මාස ගණනක් තිස්සේ දැඩි නියඟයෙන් පීඩා විඳින මඩකලපුව දිස්ත්‍රික්කයේ බෝතල් වතුර කර්මාන්තශාලාවක් ඉදි කිරීමට විරුද්ධව සියගණනක් ජනතාව උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

ප්‍රදේශයේ ගොවි සංවිධාන, ධීවර සමිති, කාන්තා සංවිධාන සහ දේශපාලකයන් ඇතුළු බහුජන සංවිධාන ගණනාවක මෙහෙයවීමෙන් පැවති උද්ඝෝෂණයේදී මඩකලපුව දිස්ත්‍රික් මායිමේ පිහිටි පුල්ලුමලේ ප්‍රදේශයේ පුද්ගලික ඉඩමකින් භූගත ජලය ඇද ගන්නා ජලය බෝතල් කිරීමට චෙන්කලඩි ප්‍රාදේශීය සභාව විසින් අවසර දී තිබීම ගැන විරෝධය පලවිය.

වියලි කලාපයක පිහිටි පුල්ලුමලේ ප්‍රදේශයේ ජල සම්පත විකිණීමට ඉඩ සැලසීමෙන් අවට ප්‍රදේශ ගණනාවක ජනතාවට බීමට සහ ගොවිතැනට අවශ්‍ය ජලය හිඳී යනු ඇති බවට උද්ඝෝෂකයෝ බිය පල කරති.

කොන්ඩෙයිමුනේ මෙතෝදිස්ත දේවස්ථානයේ සිට පෙළපාලියෙන් ගිය උද්ඝෝෂකයන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් වරයාට දුන් සංදේශයකින් පවසා තිබුනේ පාරිසරික ආදී යෝග්‍යතා කොන්දේසි සපුරන්නේ නැතිව බෝතල් කර්මාන්තශාලාව ඉදිකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන වලින් විමසා තොරතුරු දැනගෙන කර්මාන්තශාලාව සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබා නොගත්තේ ඇයිදැයි විමසීමට පියවර ගන්නා බවට දිස්ත්‍රික් ලේකම් එම් උදයකුමාර් විරෝධතා කරුවන්ට සහතික විය.

පාරිසරික කටයුතු අමාත්‍යාංශය භාර ජනාධිපතිවරයා වහාම මැදිහත්වී බෝතල් වතුර කර්මාන්තශාලාව වසා දැමීමට කටයුතු කළ යුතු බවටද උද්ඝෝෂකයෝ බලකර සිටියහ.

Related posts

Comments are closed.

Top