දකුණෙන් එන මහා පරිමාණ ධීවර ව්‍යාපාරිකයන්ට උතුරේ විරෝධතා | VIDEO

දිවයිනේ පිට පළාත් වලින් පැමිණෙන ධීවර ව්‍යාපාරිකයන් උතුරු මුහුදේ ධීවර සම්පත විකුණා ගැනීමට එරෙහිව යාපනයේ විරෝධතා මාලාවක් පවත්වා තිබේ.

අට්ටයන් හෙවත් මුහුදු කූඩැල්ලන් සහ හක්බෙල්ලන් ඇල්ලීමට නැගෙනහිර වඩමාරච්චි මුහුදේ කිමිදීම සඳහා දකුණේ අපනයන කරුවන්ට බලධාරීන් බලපත්‍ර නිකුත් කිරීමත් සමග ධීවර විරෝධතා උත්සන්න වී ඇත.

ධීවර හා ජලජ සම්පත් සම්පත් දෙපාර්තමේන්තුව විසින් අලුතින්ම බලපත්‍ර නිකුත් කර ඇත්තේ කොළඹ 15 විස්ට්වයික් පාරේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන සුගන්ද් ඉන්ටර්නැෂනල් ආයතනයේ කිමිදුම්කරුවන් 139 දෙනකු සහ යාන්ත්‍රික බෝට්ටු 66ක් වෙනුවෙනි.

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජානක කුමාරගේ අත්සනින් ලබා දී ඇති බලපත්‍රය අනුව යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල කිමිද අට්ටයන් හා හක්බෙල්ලන් ගොඩ ගැනීමට අවසර ලැබේ.

දැනට නැගෙනහිර වඩමරාච්චි වෙරළේ වාඩි ලාගෙන සිටින පිටස්තර කිමිදුම් කරුවන් 1500 කට වැඩි පිරිසක් නවීන ආම්පන්න යොදාගෙන මහා පරිමාණයෙන් සාගර සම්පත කොල්ල කන බවට ධීවර සංවිධාන චෝදනා කරයි.

එසේ වැල්ලේ වාඩි ඉදි කොට යන්ත්‍ර සුත්‍ර සහ ආම්පන්න ගබඩා කොට තැබීම නීති විරෝධී කටයුත්තක් බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් පෙන්වා දෙයි.

පරම්පරා ගණනාවක් තිස්සේ රැකගත් ධීවර සම්පත දකුණින් එන කිමිදුම්කරුවන් කෙටි කලකින් විනාශ කර දමන බවට වඩමාරච්චි නැගෙනහිර ධීවර සම්මේලනයේ ප්‍රකාශක කාත්තලිංගම් අන්නාමලෙයි මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේ මහත් කම්පාවෙනි.

බලපත්‍ර ලබා දීමට පෙර රජයේ බලධාරීන් ප්‍රදේශයේ ධීවර ජනතාව සමග සාකච්ඡා නොකිරීම ඔහුගේ බලවත් දෝෂ දර්ශනයට ලක් විය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ප්‍රකාශ කරන පරිදි වෙරළ තීරයෙන් කිලෝ මීටර පහකින් මෙපිට කිමිදීම සඳහා අවසර නැතත් දකුණින් පැමිණෙන ධීවරයෝ එම කොන්දේසිය උල්ලංඝනය කරති.

නීතියට ගරු නොකරන පිටස්තර ධීවරයන්ගෙන් සාගර සම්පත ආරක්ෂා කර ගැනීමට උතුරු මුහුදේ ධීවර කර්මාන්තය සඳහා මහා පරිමාණ අපනයන කරුවන්ට බලපත්‍ර දීම වහාම අත් හිටුවිය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වකුමාර් ගජේන්ද්‍රන් යෝජනා කරයි.

තම ඉල්ලීම් රැගත් සන්දේශයක් යාපනය දිස්ත්‍රික් ධීවර සමිති සම්මේලනය විසින් උතුරේ ආණ්ඩුකාර කාර්යාලයටත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවටත් භාර දී ඇත.

Related posts

Comments are closed.

Top