උතුරේ කිමිදුම් කොන්දේසි කඩන ධීවර බලපත්‍ර අත්හිටුවනවා: ධීවර ඇමැති

උතුරේ ධීවරයන්ගේ බරපතල විරෝධයට ලක්වෙමින් නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු වල යෙදෙන සංචාරක ධීවරයන් බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යවරයා පවසයි.

නැගෙනහිර වඩමරාච්චි මුහුදු තීරයට පැමිණ සිටින පිටස්තර අපනයන සමාගම් වල ධීවරයන් රජයෙන් ලබා දී ඇති අවසරය උල්ලංඝනය කරමින් අට්ටයන් සහ හක් බෙල්ලන් අල්ලමින් සාගර සම්පත විනාශ කරන බවට චෝදනා කරමින් යාපනය නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ කිහිප පලකම විරෝධතා මාලාවක් පැවැත්විණි.

දී ඇති අවසරය අනුව වෙරලින් කිලෝමීටර් පහකට එපිටින් ධීවර කටයුතු වල යෙදිය යුතු නමුත් එම කොන්දේසිය උල්ලංඝනය කරන බව ධීවර සංගම් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂද චෝදනා කර තිබුනි.

කොන්දේසි උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල යෙදෙන සියලුදෙනාගේ බලපත්‍ර අත් හිටුවන බව ගගන කළ විමසීමකදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පැවසුවේය.

දකුණින් යන ධීවරයන් රජයේ ආරක්ෂක අංශ වල සහාය ලබමින් ගේ කටයුතු නිසා උතුරේ ගැටුම්කාරී තත්වයක් මතුවීමේ අනතුර සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවේ අනතුරු ඇඟවීමෙන් පසුව මැදිහත්වී එම ගැටලුව නිරාකරණය කිරීමේ වගකීම ධීවර අමාත්‍යවරයාටත් තමන්ටත් පැවරූ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ නියමය අනුව උතුරේ ධීවර ගැටලුව විසඳීමට ගතයුතු ඉදිරි පියවර පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් හා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පවත්වන බව විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයා ගගන හා පැවසීය.

එම සාකච්ඡාවෙන් විසඳීමක් ලබා ගත හැකි බවට ධීවර අමාත්‍යවරයා විශ්වාසය පල කළේය.

Related posts

Comments are closed.

Top