අතුරුදහන් අය ගැන උත්තර සෙවීමට OMP ප්‍රධානියා “දේශපාලන ශක්තිය” ඉල්ලයි | VIDEO

ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම හෙළිකර ගැනීමට ආණ්ඩුව සතු අවංකභාවය පිළිබඳව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් බරපතල අවිශ්වාසයක් පල කරද්දී, පිළිතුරු සෙවීම සඳහා දේශපාලන ශක්තිය ලබාදීම අනිවාර්ය බව OMP ප්‍රධානියා පවසයි.

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අතුරුදහන් ජනකායට සිදු වූ දේ පිළිබඳව හෙළි කර ගැනීම බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේය.

“ප්‍රධාන දේ තමයි අතුරුදහන් වුවන්ට මොකද උනේ කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න,” යි ඔහු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ පීඩාවට පත් ත්‍රිකුණාමලයේ ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවීමෙන් අනතුරුවය.

ආණ්ඩු කිහිපයක්ම තම සමීපතමයන් සොයා දීම සඳහා අවංක උත්සාහයක් දරා නොමැති තැන OMP කාර්යාලය කෙරේ විශ්වාසය තබන්නේ කෙසේද යන්න හින්දු සංස්කෘතික ශාලාවේ පැවති හමුව වර්ජනය කරමින් ඒ ඉදිරිපිට විරෝධතා පැවැත්වූ දෙමළ ඥාතීන් සිය ගණනක් විසින් නගන ලද ප්‍රශ්නයකි.

“අපි OMP එකට සලකනවා. නමුත් ජනාධිපතිත් අපේ ළමයි නෑ කියනකොට ඒ ගොල්ලෝ කොහොමද විසඳුමක් දෙන්නේ,” යි අතුරුදහන් කරවුවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රකාශිකා සෙබස්තියන් දේවී විමසා සිටියාය.

“මොන හේතුවක් මත වත් හමුදාව පාවාදෙන්නේ නෑ කියා ජනාධිපති කියාගෙන යනවා. අපිත් ජනාධිපතිට කියන්නේ හමුදාව පාවා දෙන්න ඕනේ නැහැ. අපිට යුක්තිය දෙන්න.”

දස අවුරුද්දකට ආසන්න  කාලයක් ඉල්ලූ විසඳුම් නොලද ඥාතීන්ගේ බලාපොරොත්තු සුන්වීම යුක්ති සහගත බව පිළිගත් OMP ප්‍රධානියා අතුරුදහන් වුවන්ගේ ඉරණම හෙළි කර ගැනීමේ  සාර්ථකත්වය රඳා පවතින්නේ තම කාර්යාලයට පාලකයන්ගෙන් සහ පවුල් වලින් ලැබෙන සහයෝගය මත බවව අවධාරණය කළේය.

“පවතින රජයේ සහාය හා ශක්තිය ලබා දෙන්න ඕනේ මේ කාර්යය සඳහා,” යි කියා සිටි සාලිය පීරිස්, එම  උපකාරය ලැබෙනු ඇති බවට විශ්වාසය පල කළේය.

ආණ්ඩු මාරුවක් වුවත් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු අදාළ නොවනු ඇති බවද ඔහුගේ විශ්වාසයයි.

ත්‍රිකුණාමලයේ දී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් 800 දෙනකු මුණගැසුනු බව සභාපතිවරයා ප්‍රකාශ කරයි.

රැස්වීමට පැමිණියවුන් අතර සිංහල, දෙමළ හා මුස්ලිම් තුන් ජාතියටම අයත් සාමාන්‍ය ජනතාව මෙන්ම යුද හා පොලිස් නිලධාරීන්ගේ ඥාතීන්ද සිටි බව ඔහු කියා සිටියේය.

ත්‍රිකුණාමල ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් අටවාගෙන හාරසිය දිනකට වැඩි කලක් උද්ඝෝෂණයේ යෙදී ඉන්නා ඥාතීන් හමුවීමටද OMP නියෝජිත පිරිස් ගොස් ඇත.

යුද්ධයෙන්, ජවිපෙ කැරලි සමයේ, යුද සමයේ එල්ටීටීඊය විසින්, හමුදාව විසින් අත් අඩංගුවට ගැනීමෙන් සහ හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන් වුවන් මෙන්ම 1990 ගණන් වල සටනේදී ආගිය අතක් නැති හමුදා සහ පොලිස් නිලධාරීන්ගේත් පවුල් වල සාමාජිකයන් ත්‍රිකුණාමල රැස්වීමට පැමිණ තිබේ.

ඒ විවිධ කොටස් වල ඉල්ලීම් එක සමාන නොවන නිසා අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් විසඳුමක්  සොයාගැනීම OMP සභාපති වරයා විසින් හඳුන්වන ලද්දේ “දැවැන්ත ගැටළුවක්” ලෙසය.

උද්ඝෝෂණයේ යෙදී සිටි දෙමළ මව්වරුන් කියා සිටියේ සිටියේ  ආණ්ඩුව අතුරුදහන් වුවන් පිළිබඳ පිහිටුවා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව මුලා කිරීමට බවයි.

“ජාත්‍යන්තරය රවට්ටන එක නවත්තලා අපේ ළමයි අපිට දෙන්න,” යි  මඩකලපුවේ අතුරුදහන් කරවුවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරිකා අමල්රාජ් අමලනායකී කියා සිටියාය.

අපිට ඕනේ අපේ නෑදෑයන්, ළමයින්, ස්වාමි පුරුෂයන්. ජීවතුන් අතර ඉන්න අය වහාම නිදහස් කරන්න ඕනේ. OMP එක මේ නිදහස ලබාදෙයි කියා අපිට විශ්වාසයක් නෑ.”

ඥාතීන්ගේ චෝදනාව ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් පිළිතුරු සොයාගත යුත්තේ “ජිනීවා වලට උත්තර දීමට” නොවන බව කියා සිටියේය.

OMP කාර්යාලයට මේ වනවිට පැමිණිළි තුන්දහසකට අධික ප්‍රමානයක් ලැබී ඇතැයි සභාපතිවරයා පවසයි.

Related posts

Comments are closed.

Top