ඥානසාර හිමි හිරගෙට වඩිද්දී රට පුරා කැරලි ගසන බවට භික්ෂු තර්ජන | VIDEO

මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කළ බොදුබලසේනානායකයා අධිකරණය විසින් බන්ධනාගාර ගත කිරීමෙන් කෝපයට පත් ජාතිකවාදී භික්ෂුන් වහන්සේ දිවයින පුරා කැරලි ගසන බවට තර්ජනය කරති.

හය මසක සිර දඬුවමක් පැනවීමට අමතරව රුපියල් තුන්දහසක දඩ මුදලක් ද, සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් පනස් දහසක වන්දියක් ද ගෙවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණසිංහ විසින් ගලගොඩත්තේ ඥානසාර හිමිට නියම කරන ලදී.

අට අවුරුද්දකට ඉහතදී අතුරුදහන් කරන ලද සිය සැමියා සොයාගැනීම වෙනුවෙන් සටන් මගට බැස සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් හඳුන්වන ලද්දේ “බොදුබල සේනාවෙන් පීඩාවට පත් සියලු දෙනා ලද ජයග්‍රහණයක්,” ලෙසයි.

අධිකරණ භූමියෙන් පිටතදී මහත් කනගාටුවෙන් යුතුව මාධ්‍යවේදීන් හමුවූ සිංහල රාවය සංවිධානයේ  මාගල්කන්දේ සුදත්ත  හිමියන් “භික්ෂු දඩයමක්” දියත් වෙමින් පවතින්නේ යයි  චෝදනා කරමින් ඊට විරුද්ධව “අලුත් විදියකට, අලුත් ක්‍රමයකට” සටන් කරන බව කෝපාන්විතව කියා සිටියහ.

එහිදී උන්වහන්සේගේ දැඩි දෝෂ දර්ශනයට සහ තර්ජනයට ලක්වුයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රාජ්‍ය නොවන සංවිධානයි.

සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ඥාණසාර හිමියන් බන්ධනාගාර බස් රියෙන් වැඩම කරවීමෙන් අනතුරුව සඟ ගන පිරිවරා වීදියේ ගමන් කළ සුදත්ත හිමියෝ “මහා සංඝරත්නය ඒ ඒ පලාත්වල විවිධාකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරාවි” යනුවෙන් ප්‍රකාශ කළහ.

කෙසේවෙතත්, ඥාණසාර  හිමියන්ට අත්වූ ඉරණම වෙනත් භික්ෂුන් වහන්සේ නමකට අත් නොවන ලෙසට රක්ෂා කරදෙන ලෙස හෝමාගම බෝධිවෘක්ෂය අබියස දී  උන්වහන්සේ වෘක්ෂ දේවතාවුන්ට කන්නලව්වක් කර සිටි සේක.

නඩු තීන්දුවට එරෙහිව අභියාචනය කරන බව බොදුබලසේනානායකයා නියෝජනය කළ නීතිඥ මංජුල මාකුඹුර ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදීන් ඇමතු බොදුබලසේනා ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් බන්ධනාගාර ගතවූ සිය නායකයා කළ වරද හැඳින්වූයේ “රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හඬක් නැගීම” ක් ලෙසයි.

සිය මාධ්‍යවේදී සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ තුන් අවුරුද්දකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ නීතියේ පිළිසරණ සෙවීමේදී චූදිත හමුදා නිලධාරීන් අධිකරණය විසින් සිරගත කිරීමෙන් කෝපයට පත් බොබසේ නායකයා ඇයට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කිරීම නිසා හෝමාගම පොලිසිය ඔහුට විරුද්ධව නඩු පවරා තිබුනි.

කොටි සංවිධානයට පක්ෂපාතීව රණවිරුවන් දඩයමේ යෙදෙන්නියක් ලෙසින් ඥානසාර හිමි ප්‍රමුඛ ගිහි පැවිදි කණ්ඩායමක් 2016 ජනවාරි 25 දා  සන්ධ්‍යාට අපහාස කර බැන වැදුනේ අධිකරණ පරිශ්‍රයේදීය.

“තෝ දැනගනින්, තොගේ මිනිහා කොටියා, තෝ ගිහින් හිඟා කාපිය,” යනුවෙන් ඔහු කළ තර්ජනය අධිකරණය වෙත වාර්තා කර තිබුනි.

තමන් සිරගත කිරීම “නඩුකාරයා, නඩුකාරයාගේ වැඩේ කිරීමක්” ලෙස ඥානසාර හිමියන් බන්ධනාගාර රියෙන් වඩින අවස්ථාවේ ප්‍රකාශ කරද්දී සද්ධාතිස්ස හිමියන් හෝමාගම මහමග වඩිමින් කියා සිටියේ “අවනීතියක්” සිදුවූ බවයි.

අධිකරණ භුමියෙන් පිටත දැඩි පොලිස් රැකවල් යොදා තිබූ අතර නඩු විභාගය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදිනියන් ඇතුළු කාන්තාවන් කිහිප දෙනකු එම ස්ථානයෙන් පලවා හැරීමට භික්ෂුන් පිරිසක් උත්සාහ ගන්නා අයුරුද දැක ගන්නට ලැබුනි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇප පිට නිදහස් කර යවා සිටින යුද හමුදා නිලධාරීන් නැවත සේවයේ පිහිටුවන ලද්දේ ජනාධිපතිවරයා විසින් බව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය පවසයි.

අතුරුදහන් කරන ලද සිය සැමියා සොයාගැනීම සඳහා නොසැලී ගෙනයන අනවරත අරගලය වෙනුවෙන් සන්ධ්‍යා ඉකුත් වසරේ ජගත් දිරිය කත සම්මානයෙන් පුද ලද්දීය.

නීතියට ගරු කරන්නේ නම් සිය සැමියා සොයා ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ වලට සහාය දෙන ලෙස මේ වසර මුලදී  යුද හමුදාපති වරයාට සන්ධ්‍යා එක්නැලිගොඩ කළ අභියෝගයට මේ තාක් පිළිතුරු ලැබී නැත.

Related posts

Comments are closed.

Top