ස්විට්සර්ලන්තයේ කොටි චූදිතයන්ට උසාවියෙන් නිදහස හා වන්දි | VIDEO

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට අරමුදල් සැපයීමෙන් සාපරාධී කටයුත්තක් කළ බවට චෝදනා ලද කණ්ඩායමක් නිදහස් කර යැවූ ස්විට්සර්ලන්තයේ ඉහළ අධිකරණයක් ඔවුන්ට වන්දි ගෙවන ලෙස නියෝග කර තිබේ.

චූදිත දහතුන් දෙනා නිදහස් කරමින් ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය 14 බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ අපරාධකාරී සංවිධානයකට ආධාර කළ බවට රජය විසින් නගන ලද චෝදනා තහවුරු කළ නොහැකි බවයි.

පස් දෙනකු නිදොස් කොට නිදහස් කර යවන ලද අතර සෙසු අයට එරෙහි මුල්‍ය අපරාධ චෝදනා තවදුරටත් විභාග කිරීමට නියමිතය.

අරමුදල් රැස් කළ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (WTTC) අපරාධකාරී සංවිධානයක් නොවන බවද අධිකරණය විසින් තීන්දු කර තිබේ.

LTTE ය අපරාධකාරී සංවිධානයක් ලෙස තීරණය කිරීමට ප්‍රමාණවත් නිශ්චිත සාධක නැති බවද අධිකරණයේ නිගමනයයි.

ස්විස් රජය විසින් චුදිතයන්ට නඩු පවරා තිබුනේ ශ්‍රී ලංකාවේ යුද්ධය හමාර වූ 2009 දී ආරම්භ කරන ලද විමර්ශනයකින් අනතුරුවයි.

ජනවාරියේ සිට මාර්තු දක්වා සති අටක් තිස්සේ පවත්වන ලද නඩු විභාගයේදී නීතිපතිවරිය විසින් ඉල්ලා තිබුනේ අවුරුදු හයහමාරක් දක්වා වන සිර දඬුවම් නියම කරන ලෙසයි.

අපරාධකාරී සංවිධානයක සාමාජිකයන් වීම, වංචා කිරීම, මුල්‍ය අපහරණය, මුල්‍ය ශෝධනය හා කප්පම් ගැනීම ආදී චෝදනා ඔවුන්ට එරෙහිව නගා තිබුනි.

ස්විස් වාසී දෙමළ ජනතාවගෙන් එකතු කරන ලද මුදල් LTTE ය විසින් දියත් කරන අද සන්නද්ධ අරගලය සඳහා යොදා ගැනීමට සංකීර්ණ විධි ක්‍රමයක් යොදාගන්නා ලද බවට නීතිපතිනි ජුලියට් නොටෝ විසින් දීර්ග ලෙස විස්තර කෙරිනි.

ශ්‍රී ලංකා රජයේ මර්දනය හමුවේ දෙමළ විමුක්ති අරගලයේ යුක්ති සහගත භාවය වෙනුවෙන් තර්ක කළ වගඋත්තර කරුවන් පවසා තිබුනේ WTTC අරමුදල් ප්‍රධාන කොට යොදා ගැනුනේ මානුෂික ආධාර සඳහා බවයි.

LTTE සංවිධානය බිඳ වැටී ඇති සමයක චූදිතයන්ට නඩු පැවරීමේ යුක්ති සහගත භාවය දෙමළ කණ්ඩායම විසින් අධිකරණය හමුවේ ප්‍රශ්න කර තිබේ.

නඩු විභාගය සඳහා ඩොලර් ලක්ෂ තිස් අටහමාරකට අධික මුදලක් වැය වී ඇති බව ස්විට්සර්ලන්ත ජනමාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

Comments are closed.

Top