දිවියකු මැරූ ගම්වාසීන් අත්අඩංගුවට ගැනීමට උසාවි නියෝගයක් | VIDEO

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගම්වැදී සිටි දිවියකු මැරීම සම්බන්ධයෙන් සැකකෙරෙන පිරිසක් අත් අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කොට තිබේ.

අම්බාල්කුලමේ ගම්වාසීන් දස දෙනකුට පමණ 21 බ්‍රහස්පතින්දා නිය පහුරෙන් පහර දී වනජීවී නිලධාරියකු සපා කෑ සිව්පාවා මරා දැමූවන් සම්බන්ධයෙන් කිලිනොච්චි මහේස්ත්‍රාත් වරයා එම නියෝගය දුන් බව දිස්තික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පවසයි.

දිවියා ඝාතනය කිරීම අපරාධයක් බව ගගන හා පැවසූ කිලිනොච්චි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ද සහාය දෙන බව කියා සිටියේය.

අම්බාල්කුලමේ විවේකානන්ද විද්‍යාලය පසුපස ඉඩමක හරකුන් දිගේලි කරන්නට ගිය ගම්වාසීන් දෙදෙනකු විසින් දකින ලද දිවියා සම්බන්ධයෙන් ඔවුන් වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ පෙරවරුවේය.

කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිදරන් ඇතුළු කණ්ඩායමක් දහවල් 12.30ට පමණ  එහි පැමිණ ඇත.

පොලිසියේද සහායෙන් ගම්වාසීන් ඉවත් කර කොටියා නිර්වින්දනය කිරීමට ගිය වනජීවී නිලධාරියකු දිවියා විසින් සපා කණු ලැබීමෙන් පසු රෝහලට ඇතුල් කර තිබේ.

ඔහු ගෙනයාමට කටයුතු කරන අවස්ථාවේ ගම්වාසීන් දිවියා වටකර පොලු මුගුරු වලින් පහර දී මරා දමා තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති.

කිලිනොච්චි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන පවසන පරිදි එම පහර දීම සිදු වී ඇත්තේ පොලිස් නිලධාරීන් සිටි ස්ථානයෙන් ඉවතදී ය.

දිවියා මරා දැමීමට හවුල්වූ සියල්ලන් සම්බන්ධයෙන් නීති ප්‍රකාර කටයුතු කිරීමට පියවර ගන්නා බව පොලිස් අධිකාරිවරයා පැවසීය.

කොටි ප්‍රහාරයෙන් තුවාල ලද සියලුදෙනා කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බව ගගන කිලිනොච්චි වාර්තාකරු පවසයි.

Related posts

Comments are closed.

Top