අස්ගිරි අනුනාහිමිගේ හිට්ලර්වාදී  අනුශාසනයට ජනපති අගමැති බැට | VIDEO

සකල ලෝකය විසින්ම හෙලා දකිනු ලබන ආකාරයේ ඒකාධිපතියකු අනුගමනය කරමින් හමුදා පාලනයක් පවත්වාගෙන යන ලෙස හිටපු ආරක්ෂක ලේකම් වරයාට අස්ගිරි පාර්ශවයේ ඉහල මට්ටමින්ම කරන ලද ආරාධනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ 69 වැනි ජන්ම දිනය සමරා ඔහුගේ නිවසේ දී පිරිනමන ලද දානය වළඳා හමාරවී වේඬරුවේ උපාලි අනුනාහිමි දෙසා වදාළ පරිදි ශ්‍රී ලංකාව විනාශ මුඛයට ඇදී යමින් පවතී.

එයින් ගොඩ ඒම සඳහා “මහා සංඝරත්නයේ” යෝජනා කරන මාර්ගය ලෙස උපාලි හිමියන් විසින් අවධාරණය කෙරුනේ දශලක්ෂ ගණනින් ඝාතනය කළ වර්ගවාදී ඒකාධිපතියකු අනුගමනය කිරීමයි.

හිටපු ආරක්ෂක ලේකම් නට්සි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට සම කෙරෙන බවත් අනු නාහිමියෝ සිහිපත් කළහ.

“හිට්ලර් කෙනෙක් වෙලාහරි මේ රට හදන්න කියලා තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා.”

අස්ගිරි මහා විහාරවාසී සංඝාරාධනාව ජනාධිපතිවරයා විසින් හෙලා දකින ලද්දේ “වරද්දා ගැනීමක්” ලෙසිනි.

ශ්‍රී ලංකාවේ ජනතාව 2015 දී ඒකාධිපති පාලනයකට විරුද්ධව රටේ පාලන බලයේ වෙනසක් ඇතිකළේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් විනා ආහාර හා රැකියා බලාපොරොත්තුවෙන් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිහිපත් කරන ලද්දේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර ඉදි කළ නිවාස ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාව අමතමිනි.

“ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඔය ඉල්ලන  හමුදා පාලනයක් වුනත් හොඳයි කියන අය ඒ අත්දැකීම පිළිබඳව අවබෝධයක් නොමැතිවයි ඒ වගේ දේවල් කතා කරන්නේ,” යි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජර්මනියේ බෞද්ධයන්ට හතුරුවූ ඇඩොල්ෆ් හිට්ලර් වෙනුවෙන් වෙඬරුවේ උපාලි අනුනාහිමියන් පෙනී සිටීම අගමැතිවරයාගේ ප්‍රශ්න කිරීමට ලක්විය.

“බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රජදරුවන්ට දේශනා කළේ විවිධ මත ගරු කරන්න විටින් විට රැස්වෙන්න. සාමයෙන් රැස්වී සාකච්ඡා කරන්න, සාමයෙන් විසිර යන්න ලෙසයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යන්නේ ඒ ආකාරයටයි. පාලකයෙක් හිට්ලර් කෙනෙක් විය යුතු යැයි බුදු රජාණන් වහන්සේ කිසිවිටෙකත් දේශනා කළේ නැහැ.”

අස්ගිරියේ අනුනාහිමියන් තමන් සිටි තැනක එම ප්‍රකාශය කළේ නම් “එවෙලේම එය හෙලා දකින” බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ  මාතර, මන්තින්ද මහා පිරිවෙනේ 125 වැනි සංවත්සරය සමරා පැවැති උත්සවය අමතමිනි.

ඒකාධිපති පාලනයක් වෙනුවෙන් කරන ලද ආරාධනය ප්‍රශ්න නොකරන ජනමාධ්‍ය ද අගමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

හිට්ලර්ගේ ඒකාධිපති පාලනය යටතේ පීඩාවට පත් ජර්මනිය ශ්‍රී ලංකාවේ නියෝජනය කරන රාජ දුතයා ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ප්‍රකාශ ප්‍රශංසාවට ලක් කරමින් අස්ගිරි අනුනාහිමි අනුශාසනාව දැඩි ලෙස හෙලා දැක ඇත්තේ “මෝඩ” කියමනක් ලෙසිනි.

“මේ කියමන් වලින් පෙන්නුම් කෙරෙන්නේ සිවුරක් ලාගත් පලියට පුද්ගලයන් වගකීම් විරහිත, හුදු මෝඩ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින්නේ නැති බවයි,” යනුවෙන් ජර්මන් තානාපති යෝර්න් රෝඩ් සමාජ මාධ්‍ය ජාල මගින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, වේඬරුවේ උපාලි හිමියන් ගේ යෝජනාව අනුමත කරමින් හිටපු ආරක්ෂක ලේකම් වරයා කියා සිටින්නේ එය ප්‍රඥාවන්තයන්ට පමණක් වැටහෙන අනුශාසනාවක් බවයි.

“මම නම් ඒ අනුශාසනාවේ තියෙන සියලුම කරුනු වටහා ගත්තා.  වටහා ගත්තේ නැති පුද්ගලයෝ තමයි ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ,” යි ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ තම පියා වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කිරීමේදී කෝටි නමයක මුදලක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයක සාක්ෂි දීම සඳහා කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණීමෙන් අනතුරුවය.

හිට්ලර්ගේ නාසි වධකාගරයක ඇතුලත මළ සිරුරු 

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ වේඬරුවේ උපාලි අනුනාහිමි විසින් ගෝඨාභය රාජපක්ෂගේ ජන්මෝත්සව දන් නිමවා රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කළ අනුශාසනාව පිළිබඳව අස්ගිරි නාහිමියන් හෝ අස්ගිරි මහවිහාරයීය කාරක සංඝ සභාව හෝ මේ තාක් කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.

Related posts

Comments are closed.

Top