යුද අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසි පියවරක් ගෙන නෑ: සම්බන්ධන්

යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවට ආණ්ඩුවට දොස් පවරන විපක්ෂ නායකයා ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවේ ජනතාවට යහපතක් කිරීමේ අපේක්ෂාව මුල් කොට කටයුතු කරන බවට විශ්වාසය පල කොට තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව දුන් පොරොන්දු වලින් වැඩි කොටසක් ඉටු කිරීමට රජය අසමත් වී ඇති බව දෙමළ ජාතික සන්ධාන නායකයා පවසා ඇත්තේ ධුර කාලය හමාරවී දිවයිනෙන් බැහැර වන එක්සත් ජනපද තානාපතිවරයා හමුවූ අවස්ථාවේය.

රජය විසින් දුන් ඉටු නොවූ පොරොන්දු ගණනාවක් විපක්ෂ නායකයා විසින් තම නිල නිවාසයේදී තානාපති අතුල් කේෂප් ට සිහිපත් කර දී ඇත.

“අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය පිහිටවනු ලැබුවේ දීර්ඝ ප්‍රමාදයකින් පසුවයි. වන්දි ගෙවීමේ පනත සම්මත කර නෑ. වගවීම පිලිබඳ ගැටළු විසඳීමට කිසිම පියවරක් ගෙන නෑ. සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ පුනරාවර්තනය නොවීම පිළිබඳ කොමිසමට නීති සම්පාදනය කර නෑ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සාධනීය ලෙස ආරම්භ උනත්, එය පෙරට ගෙන යාමට පරක්කු වන බවක් පේන්න තියෙනවා.”

උතුරේ දැඩි මතධාරීන් නිහඬ කිරීමේ එකම ක්‍රමය රජය දුන් පොරොන්දු ඉටු කිරීම යැයි පවසා ඇති ආර් සම්බන්ධන් විපක්ෂ නායකයා එසේ නොකර සිටියොත් දෙමළ ජනතාව රටේ දෙවැනි පෙළ පුරවැසියන් ලෙස ජීවත් වීමට සූදානම් නැතැයි කී බව දෙමළ ජාතික සන්ධානය (TNA) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී සම්මත කරගත් යෝජනාව අදත් වලංගු හෙයින් එය ද්විපාර්ශවික සබඳතා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මූලික වන බව තානාපති කේෂප් පැවසූ වග TNA පවසයි.

ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබෙන යහ ප්‍රතිරූපය එසේම පවතිනු ඇතැයි සිතා සිටිය යුතු නැතැ’යි අනතුරු ඇඟවූ එක්සත් ජනපද තානාපතිවරයා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගත හොත් එය ශ්‍රී ලංකාවට තවත් ආයෝජකයන් අද්දවා ගැනීමේ මාර්ගයක් වනු ඇති බව කියා සිටියේ යයි ද TNA නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

Comments are closed.

Top