විජයකලාගේ විලාපය නවත්වන්න උතුරට පොලිස් බලතල දිය යුතුයි: බාහු | VIDEO

නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවීම නිසා තමන් ජීවත් වන ප්‍රදේශයේ වැඩිවෙමින් පවතින අපරාධ ගැන කම්පාවට පත් කාන්තාවක් වන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය නැගූ විලාපය නවත්වා ලිය හැකි වන්නේ උතුරු පළාත් සභාවට පොලිස් බලතල දීමෙන් බව නවසමසමාජ පක්ෂයේ නායකයා ප්‍රකාශ කරයි.

එසේ බලතල විමධ්‍ය ගත කිරීමට එකඟවී බලයට පත් වූ ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටු නොකිරීම ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය.

දරුවන්ට සහ ගැහැනුන්ට ආරක්ෂාව සහිතව උතුරු නැගෙනහිර නිදහසේ ජීවත්වීම සඳහා  එල්ටීටීඊ සංවිධානයේ අවශ්‍යතාව මතුව ඇති බව ප්‍රකාශ කිරීම නිසා දකුණේ දැඩි විවේචනයට ලක්වීමෙන් අනතුරුව විජයකලා මහේෂ්වරන් සිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ බාරදීමට සිදු විය.

“කොටි පාලනය හොඳයි කීම විලාපයක් මිස වෙනත් දෙයක් නොවෙයි,” යනුවෙන් ආචාර්ය වික්‍රමබාහු ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමිනි.

“දුක් විඳින ජනතාවගේ වේදනාවන් කියලා කෑ ගහන්න ගෑනියකුට අවසරයක් නැති රටක්ද මේක?”

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ට දැඩි ප්‍රහාර එල්ල කළ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්  ‘ගොන්නු’ ලෙසින් ආචාර්ය බාහු ගේ දෝෂ දර්ශනයට ලක් විය.

“එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සමහර ගොන්නු මේ කාන්තාවගේ විලාපය ගැන වැරදි අර්ථකතනයක් දෙන්න උත්සාහ කරලා තියෙනවා.”

මන්ත්‍රීවරිය විසින් පල කරන ලද අදහස් වැරදි ලෙස වටහාගෙන සිටින ජාතිවාදීන් ගේ ඉල්ලීම පරිදි ඇයට දඬුවම් පැමිණවීමට පියවර ගැනීම අර්ථ විරහිත කටයුත්තක් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අවධාරණය කළේය.

Related posts

Comments are closed.

Top