මාධ්‍යවේදීන්ට ජනාධිපති සම්මාන දීමට අයැදුම්පත් කැඳවයි

 

“මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයීම” සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට පැවැත්වීමට යන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ට මාධ්‍යවේදීන් 54 දෙනකුට සම්මාන පිරිනැමීමට රජය සැරසෙයි.

මේ සඳහා 2017 ජනවාරි 1 දා සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිංහල,දෙමළ,ඉංග්‍රිසි පුවත්පත්,ගුවන්විදුලි, රූපවාහිණි සහ සමාජ මාධ්‍ය මඟින් පළකොට ඇති සුවිශේෂි වාර්තා විශේෂාංග හා වැඩසටහන් ඉදිරිපත් කළ හැකි අතර ඒ අතරින් විශේෂ ජුරි සභා 4ක් මඟින් තෝරාගෙනු ලබන නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානය කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම නිමිත්තෙන් පැවැති උත්සවයකදී  ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මෙයට අමතරව මාධ්‍ය කලාවට විශිෂ්ට සේවාවක් කළ මාධ්‍යවේදීන් 4 දෙනෙකුට ජිවිතයේ එක්වරක් පමණක් හිමි වන සම්මාන ද පිරිනැමේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දි වාර්ෂික ව මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්විමට තිරණය කොට ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල – 2018 වෙබ් අඩවිය ද ඇමති මංගල සමරවිර  විසින් විවාත කරන ලදි.

මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන සඳහා ඕනැම මාධ්‍යවේදියකුට එම වෙබ් අඩවිය හරහා තම නිර්මාණ ඉදිරිපත් කළ හැක.

ඒ හැර ඕනැ ම කෙනකුට තමන් කැමති මාධ්‍යවේදියකු නම් කොට එවීමට හැකි  බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය  එරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය  ආර්.එච්.එස්.සමරතුංග, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා ස්වාධීන රූපවාහිනියේ සභාපතිනි තිලකා ජයසුන්දර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන යනාදීන්  ද මාධ්‍ය ආයතනවල ප්‍රධානිහු ද මෙම අවස්ථාවට සහභාගි විය.

 

 

Related posts

Comments are closed.

Top