එකම අයිතිකරුගේ බස් දෙකක් හැප්පී හැටක් රෝහලේ | VIDEO

දඹුල්ල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළුව අඩුම වශයෙන් මගීන් හැට දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි  ගොකරැල්ල පොලිසිය කියයි.

මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී 9 සඳුදා සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකේ ගමන්ගත් තුවාල ලැබූ මගීන් ගලේවෙල,  කුරුණෑගල ගොකරැල්ල දඹුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ගොකරැල්ල පොලීසියේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර රියදුරන් දෙදෙනා ද සිටින බව පොලිසිය කියයි. ඔවුන් දෙදෙනා ඇතුළු තවත් මගීන් විස්සකට පමණ බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කර සිටී.

මෙම පෞද්ගලික බස් රථ දෙකම එකම පුද්ගලයකුට අයත් බස් රථ බව හඳුනා ගෙන තිබේ. මෙම එක බස් රථයක් ඇඹිලිපිටියේ සිට යාපනය බලා  ද  අනෙක් බස් රථය වව්නියාවේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ බව පොලිසිය කියයි.

විහිලුව දුරදිග යාම

තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුවී ඇතැයි පොලිසිය කීවත්, බස් රථයේ සිටි ජනතාව මාධ්‍යවේදීන් හා කියා සිටියේ බස් රථ රියදුරන් දෙදෙනා ඈත සිටම අධික වේගයෙන් පැමිණ ඔවුන් දෙදෙනාගේ මිතුරුකමට බස් රථ දෙක එකට යා කිරීමට උත්සාහ කළ බවය.

කෙසේවෙතත් දෙදෙනා විහිළුවක් කිරීමට ගොස් අවසානයේ දී අනතුරට පත්වූ බව මගීහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

බස් රථ දෙකම එකම අයිතිකරුට අයත් බස් රථ බැවින් රියදුරන් දෙදෙනා ද නිතර ප්‍රධාන මාර්ගයේ දී හමුවී   සඥා දෙමින් විදුලි පහන් දල්වමින් ගමන් කිරීම සිදුකළ බවද ඇතැම් මගීහු කියා තිබේ.

සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් කියා සිටියේ එකවරම විශාල ශබ්දයක් ඇසී බලන  විට මගීන්කෑකෝ ගසන ශබ්දය ඇසුණු බවය. පසුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන වලට රෝගීන් පටවා ගලේවෙල රෝහලටත් ගොකරැල්ල රෝහලටත් යැවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. ගලේවෙල රෝහලට ඇතුළත් කළ බොහෝ රෝගීන් දඹුල්ල මූලික රෝහලට මාරුකර වුණ බවද  ගොකරැල්ල රෝහලට රැගෙන ගිය රෝගීන් කුරුණෑගල රෝහලට මාරු කර යැවු බව ද රෝහල් ප්‍රකාශකයෝ  පවසති,

මෙම අනතුර හේතුවෙන් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය විනාඩි 45 ක පමණ කාලයක් ගමනාගමනයට බාධා එල්ල වූ අතර ගොකරැල්ල සහ ගලේවෙල පොලීසිය විසින් මාර්ගයේ ගමනා ගමන බාධක ඉවත් කරනු ලැබීය.

මෙම අනතුරට හේතුව රියදුරන් දෙදෙනාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය සහ විහිළු කරමින් මාර්ගයේ ගමන් කිරීමට යෑම බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ගොකරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.

බස් රථයේ දෙකේම ඇතුළත ආසන රැසක් ගැලවී ඉදිරියට විසි වී තිබුණු බවත් පොලිසිය කියයි. බොහෝ මඟීන්ගේ අත්, පා සහ  මුහුණුවලට බරපතළ හානි සිදු වී ඇතැයි රෝහල් බලධාරීහු පවසති. අනතුර සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන් ජයරත්න  පරීක්ෂණ පවත්වයි.

Related posts

Comments are closed.

Top