පොලිසියට එරෙහිව සටන් වදින මානව හිමිකම් ක්‍රියාධාරිනියකට ප්‍රහාරයක් | VIDEO

නඩු නැති ඝාතන සහ වධහිංසා පැමිණවීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් චෝදනා ලබන පොලිස් නිලධාරීන්ට එරෙහිව වසර ගණනාවක් තිස්සේ සටන් වදින මානව හිමිකම් ක්‍රියාධාරිනියකට මහමගදී පහර දී ඇය අත තිබූ ලිපි ලේඛන පැහැරගෙන ගොස් තිබේ.

දෙදෙනකු අලුත්ගම, මොරගොල්ලේ නිවෙස බලා යමින් සිටි පානදුර, ජනසංසදයේ නීති සම්බන්ධීකාරිකා අමිතා ප්‍රියන්ති ට කලූ ඇඳගෙන, මුහුණ  මුලුමණින්ම ආවරණය වන පරිදි හෙල්මට් පැළඳි යතුරුපැදි කරුවන් විසින් පහර දී උසාවි කටයුතු වලට අදාළ ලේඛන සහ ජංගම දුරකතනයද පැහැරගත් බව ඇය විසින් සිය සැමියා සමග අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම ප්‍රහාරය සැලසුම් සහගතව සහ සංවිධානාත්මකව කරන ලද්දක් බව පවසන ජනසංසදය සංවිධානය ඇය ට ශාරීරික හානි සිදුකර, ජීවිතයට තර්ජනය කිරීමට අවශ්‍ය  වී ඇත්තේ සාපරාධී කටයුතු කළ බවට ඇගේ මැදිහත් වීමෙන් පවරා ඇති නඩුවල වගඋත්තර කරුවන්ට බව පෙන්වා දෙයි.

පයාගල පොලිස් අත් අඩංගුවේ දී වධබන්ධනයට පත්කොට මරා දමන ලද සිය සොහොයුරා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරගැනීම උදෙසා මූලික වී කටයුතු කරන්නේ අමිතා ප්‍රියන්ති බව ජනසංසදය පවසයි.

ඒ පිලිබඳ නඩුව විභාග කිරීම මහාධිකරණය විසින් පසුගිය 3 වැනිදා ආරම්භ කර ඇත.

අමිතා ප්‍රියන්තිගේ සහෝදරයා වන ලසන්ත ජගත් කුමාර ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පයාගල පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න වික‍්‍රමරත්න පහළොස් අවුරුද්දක් තිස්සේ අධිකරණය මගහැර සිටින බව ජනසංසදයේ ලේකම්වරයා ගගන හා කියා සිටියේය.

ලසන්ත ජගත් කුමාරට පොලිසිය පහරදීමෙන් ලද තුවාල සම්බන්ධයෙන් දෙනලද වෛද්‍ය වාර්තාව අභියෝගයට ලක් කරන ලදුව ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය විසින් කළුතර නාගොඩ රෝහලේ එවක අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව් ආර් පියසෝමගේ වෘත්තික භාවය වසර තුනකට අත් හිටුවන ලදී.

නඩු විභාගය ආරම්භ වීමත් සමගම මානව හිමිකම් ක්‍රියාධාරිනියට මහමගදී පහරදී නඩු ලේඛන පැහැරගෙන යාමෙන් පෙන්නුම් කෙරෙන්නේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සොයා යන්නන් මර්දනය කිරීමේ බියජනක සුදුවෑන් සංස්කෘතිය  ‘‘කලු ඇඳගත් පුල් ෆේස් හෙල්මට් යතුරුපැදි කරුවන්’’ ලෙසින් තවදුරටත් ක්‍රියාත්මක වීමක් ලෙස ජනසංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා අනතුරු අඟවයි.

“මෙය අමිතා ප‍්‍රියන්තිට කරන ලද්දක් නොව, වින්දිතයින් බලගන්වමින් නීතිමය පියවර ගැනිමට ශක්තිය ලබාදෙන සියලූම මානව හිමිකම ක‍්‍රියාකාරීන්ට එල්ලකරන ලද  පහරකි, අනතුරු ඇඟවිමකි.”

ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධාරීන් පවා ශ්‍රී ලංකාව තුල තව දුරටත් ආරක්‍ෂිත නැතැයි මෙම ප්‍රහාරයෙන් පෙනී යන්නේයැයි පවසන ආසියානු මානව හිමිකම් කොමිසම එවැනි පුද්ගලයන්ට හානි පැමිණවීම රටේ එදිනෙදා චර්යාවක් වී ඇතැයි ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ පොලිසිය හා ආරක්ෂක අංශ හිතුමතේ භුක්ති විඳින දඬුවමින් බේරී යාමේ නිදහස රටේ නීතිය හා සාමය බිඳ වැටීමට මගපාදා ඇති බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

Comments are closed.

Top