ඓතිහාසික යාපනය බලකොටුවේ හමුදා කඳවුරකට විරෝධය | VIDEO

සියවස් හතරක් පැරණි යාපනය බලකොටුව ඇතුලේ යුද හමුදා කඳවුරක් පිහිටුවීමේ සැලසුම් වලට එරෙහිව උතුරේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

බලකොටුව තුල අක්කර හයක භූමියක් යුද හමුදාවට පවරා  තිබීම සම්බන්ධයෙන් විරෝධය පල කරන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන  චෝදනා කරන්නේ දෙමළ භුමියේ පුරාවස්තු විනාශ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාවට ඉඩ සලසා ඇති බවයි.

යාපනය දිසාපති එන් වේදනායගම් මාධ්‍යවේදීන්ට පවසා ඇති පරිදි වාඩිලාගෙන සිටින භූමි ප්‍රදේශ වලින් ඉවත් වන විට උතුරේ ආපසු කඳවුරු ලා ගැනීමට ප්‍රමාණවත් ඉඩම් නැතැයි පවසා යුද හමුදාව බලකොටුව ඉල්ලා ඇත.

උතුරු පළාත් සභාවේත්, යාපනය නගර සභාවේත් විරෝධය මධ්‍යයේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ බලකොටුව යුද හමුදාවට පවරා දීමට ජනාධිපති වරයාට පසුගිය නොවැම්බරයේ නිර්දේශ කර තිබුනි.

දෙමළ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද විරෝධතා වල බලපෑම නිසා පෞද්ගලික ඉඩම් වලින් භට පිරිස් ඉවත් කළත්, යුද හමුදාව දිගටම උතුරේ රඳවා තබා ගැනීමට ආණ්ඩුව වෙනත් උපාය මාර්ග යොදා ගනිමින් සිටින බව උද්ඝෝෂණයට එක්ව සිටි දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු චෝදනා කළේය.

“අපි හමුදාව ඉවත් කරන්න කියා කියනකොට, ඉඩම් නිදහස් කරනවා කියා පිටරටවලට පෙන්නමින් වෙනත් රජයේ ආයතන යොදාගෙන කොල්ල කාලා හමුදාවට බාරදෙන ක්‍රමයක් හදාගෙන,” යි උතුරු පළාත් සභා මන්ත්‍රී පොන්නුදුරෙයි අයින්ගරනේසන් මාධ්‍යවේදීන් හා පැවසීය.

“කොහේ හරි ගස් තිබුනත් ඒක කැලයක් කියලා වන සංරක්ෂණයෙන් අල්ලා ගන්නවා. කොක්කු හතරදෙනෙක් එකතැන හිටියොත් වනජීවී එකෙන් අභය භූමියකට අල්ලා ගන්නවා. අපේ ඉඩමක නටබුන් හම්බ උනොත් කුඹුරක් උනත් කමක් නෑ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අල්ලා ගන්නවා.”

වෙනස් ජාතීන්ට වෙනස් නීති

යාපනය බලකොටුව දෙමළ භුමියේ පිහිටි පුරාවස්තුවක් නිසා එය විනාශ වී යාම ගැන ආණ්ඩුව නොතකන බවට චෝදනා කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා ගජේන්ද්‍රන් කියා සිටියේ පුරාවිද්‍යා සංරක්ෂණයේ දී පවා සිංහලයන්ට එක නීතියක් ද දෙමළ අයට වෙනත් නීතියක්ද ක්‍රියාත්මක වන බවයි.

යුද හමුදාවට කඳවුරක් ඉදිකිරීම සඳහා යාපනය බලකොටුව නිල වශයෙන්ම භාර දීමට කටයුතු කරන බලධාරීන් සීගිරි කැටපත් පවුරේ නොදැනුවත්කමින් කුරුටු ගෑ මඩකලපුවේ සිසුවියක් සිව් වසරකට ඉහතදී දෑවුරුදු සිර දඬුවමකට යටත් කළ බවද හිටපු මන්ත්‍රීවරයා සිහිපත් කර දුන්නේය.

නීති විරෝධී ඉදිකිරීම් නැවත්වීමට පියවර නොගන්නේ නම්  ඓතිහාසික ගාලු කොටුවට ලබා දී තිබූ ලෝක උරුම ගෞරවය අහෝසි වී යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මීට ඉහතදී ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබුනි.

පෘතුගීසින් විසින් 1618 දී මුලින්ම ඉදිකරන ලද පංචාශ්‍රයක හැඩය ගත් යාපනය බලකොටුව ලන්දේසින් විසින් එයින් හතලිස් වසරකට පසු පුළුල් කරන ලදී.

 

Related posts

Comments are closed.

Top