එක්සත් ජනපදයේ කාසිකාර දැවැන්තයකු බිමහෙලා සටන්කාමී කාන්තාවක් පෙරට

ඇමරිකානු කොන්ග්‍රස් සභික ජෝ ක්‍රවුලි ආධුනික කාන්තාවක් අතින් ප්‍රාථමික මැතිවරණයෙන් පරාජය වීම ඩිමොක්‍රටික් පක්ෂයේ මෑත දී සිදු වූ දැවැන්තම පෙරළියයි. ඔහු ඇමරිකානු කොන්ග්‍රස් සභාවේ  මීළග කථානායකයා වීමේ සියලු ප්‍රාර්ථනා ඒ සමගම අහෝසි වී ගියේය.

ක්‍රවුලි නියෝජනය කළ නිව්යෝර්ක් ජනපදයේ 14 වැනි දිස්ත්‍රික්කයෙන් ඔහු පරාජය කරනු ලැබුවේ  ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදිනියක ලෙස තමන් හදුන්වාගන්නා 28 හැවිරිදි කම්කරු පන්තික  ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කොර්ටෙස් විසිනි.

දිස්ත්‍රික්කයට අයත් වන්නේ නිව්යෝර්ක් නගරයේ වැඩ කරන ජනතාව බහුලව වෙසෙන දකුණු බ්‍රොන්ක්ස් සහ උතුරු ක්වීන්ස් පළාත්ය. එහි 70% ක් පමණ වෙසෙන්නේ සුලු ජාතිකයන්ය.

ක්‍රවුලි ගේ මැතිවරණ ව්‍යාපාරය සදහා ඔකාසියෝ-කොර්ටෙස් ගේ මැතිවරණ ව්‍යාපාරය මෙන් දස ගුණයක මුදල් ආධාර ලැබී තිබිණි.ඩිමොක්‍රටික් පක්ෂයේ බලවතුන් ගණනාවකගේ සහය ද ඔහුට ලැබී තිබිණි.

පූර්ව මැතිවරණ සමීක්ෂණ වලට අනුව ඔහු ඡන්ද ප්‍රතිශතයෙන් 36% ක් ඉදිරියෙන් සිටියද මැතිවරණයේදි 15% කින් පරාජය විය.

ඔහු පරදවා ජයගත් ඔකාසියෝ-කොර්ටෙස් තරගයට නම් කොට තිබුනේ ප්‍රගතිශීලී සහ සිවිල් සමාජ සංවිධාන විසිනි.

“වැඩියෙන් මුදල් යොදවා ලොකු සල්ලිකාරයන් පරද්දන්න බෑ. ඔවුන් බිම දැමිය යුත්තේ වෙනම ක්‍රමයකටයි,” යනුවෙන් ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කොර්ටෙස් පවසා තිබුනි.

පොදුජන අවශ්‍යතා වෙනුවෙන්

ඔකාසියෝ-කොර්ටෙස් ගේ මූලික මැතිවරණ පොරොන්දුව වූයේ පොදු ජනතාවගේ සෞඛ්‍යය, නිවාස සහ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බවය. ඊට අමතරව ට්‍රම්ප් පරිපාලනයේ කෘර ආගමන විගමන ප්‍රතිපත්තිය දැඩි සේ විවේචනය කළ ඇය ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ  (ICE) ආයතනය අහෝසි කිරීම වෙනුවෙන් සටන් කරන බවට ද ප්‍රතිඥා දුන්නාය.

දිස්ත්‍රික්කයේ ජනතාව ගේ උවමනා එපාකම් නොහදුනන, ඔවුන්ගෙන් ඈත්වූ ජීවිතයක් ගත කරමින් විශාල සමාගම් වලට උවමනා එපාකම් වලට මුල් තැන දෙන්නකු ලෙසට ක්‍රවුලි ඇගේ බලවත් ප්‍රහාරයට ලක්විය. එවැන්නකු තමදිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ කෙලෙස දැයි ඔකාසියෝ-කොර්ටෙස් ප්‍රශ්න කර සිටියාය.

ඇමරිකානු ඡන්ද සම්ප්‍රදාය අනුව මුලින් ඒ ඒ දේශපාලන පක්ෂ තුළ ප්‍රාථමික මැතිවරණ පවත්වා පක්ෂයේ අපේක්ෂකයා තෝරාගනු ලැබේ. ක්‍රවුලි පසුගිය වාර වලදී ප්‍රාථමික වටයේ නිතරගයෙන් තේරී පත්විය. එකොළොස්වැනි වතාවට සිය දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සදහා මෙවර තරග වැදුනු ඔහු කිසිදා ජනතා ඡන්දයෙන් තේරී පත්වී නැති නවක සටන්කාමියක අතින් පරාජය විය.

Related posts

Comments are closed.

Top