මරණ දඬුවමට මහ සඟරුවනේත්, කාදිනල් හිමිපාණන්ගේත් ආශිර්වාදය | VIDEO

කාටුනය: අවන්ත ආටිගල

ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්ව ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණයට ආගම් බේදයකින් තොරව බෞද්ධ හා කතෝලික නායකත්වයේ අනුමැතිය පලවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම වී සිටින  සිරකරුවන් එල්ලුම් ගසට යැවීම සඳහා තම අවසරය දෙන බව ජනාධිපතිවරයා පවසා තිබුනි.

“මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනයට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දණ්ඩනය නියම වුවන්ට එම දඬුවම දීමට මම මගේ අත්සන යොදනවා,” යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්පොලසන් නාදය මැද ප්‍රකාශ කර සිටියේ සිසු සිසුවියන් සිය ගණනකගේ සහභාගිත්වයෙන් මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති “මතට එරෙහිව පාසලෙන් ජවයක්” වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

බෞද්ධයකු ලෙසින් පුද්ගලයන් මරණයට නියම කිරීම සම්බන්ධයෙන් වාද විවාද තිබිය හැකි වුවත් තමන් එමගින් පාපයක් කර නොගන්නා බවට එහිදී ජනාධිපතිවරයා විශ්වාසය පල කර සිටියේය.

“පානාතිපාතා වේරමණී”

හැට අවුරුද්දකට ආසන්න කාලයක් ක්‍රියාත්මක නොකෙරුනු මරණ දඬුවම බල ගැන්වීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව බහුජන හිතසුව පිණිස නීතිය ක්‍රියාත්මක කිරීමක් ලෙසින් ශ්‍රී ලංකාවේ පැවිදි බෞද්ධ නායකත්වය විසින් කිසිදු විවාදයකින් තොරව එක හඬින් අනුමත කොට ඇත්තේ පරපණ නැසීම පාපයක් කොට පළමු ශික්ෂාපදය පැනවූ බුදුන් වහන්සේ ද සම්බන්ධ කරගනිමිනි.

“ලොව්තුරා බුදු පියානන්ගෙන් පවා අවසර ලැබිලා තියෙන්නේ රටේ යහපත උදෙසා රජතුමා ක්‍රියා කරනවා නම්, ඒක හැමදෙනාගේම යහපත උදෙසා විය යුතුයි කියන කාරණය තමයි අපට මතක් කර දෙන්න වෙන්නේ,” යි  දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනාහිමියෝ වදාරා සිටියහ.

“ජනාධිපතිතුමා මේ අවස්ථාවේ කල්පනා කරන්න ඇත්තේ අපට පෙනෙන ආකාරයට, රටේ පවතින නීතිය ඒ ආකාරයට ක්‍රියාත්මක කිරීම තුලින්, රටේ අපරාධ තුරන් වී, සදාචාරවත් සමාජයක්, සාමකාමී සමාජයක් බිහිවෙයි කියන කාරණයයි,” යනුවෙන් අස්ගිරි මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ වදාරති.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ද කතෝලික සභාවේ නිල මතයට හරස්ව යමින් ජනපති, අස්ගිරි, මල්වතු මතය අනුමත කොට ඇත්තාහ.

“හිරගෙදර ඉඳගෙන මත්කුඩු, මත්ද්‍රව්‍ය ඒවගේම පාතාල ලෝකයේ කටයුතු සංවිධානය කරන අය ඉන්නවානම් ඒ අයට තමන්ට උරුම වෙලා තියෙන දඬුවම ක්‍රියාත්මක කිරීමේ අසාධාරණයක් නැහැ,”  යි උන්වහන්සේ දේශනා කර ඇත.

පාප් වහන්සේ විරුද්ධයි

මරණීය දණ්ඩනය දැඩි ලෙස හෙලා දකින වර්තමාන කතෝලික සභාවේ ප්‍රධානියා එය නිල කතෝලික මාර්ගෝපදේශනය ලෙස ගැනෙන කතිකිස්මයට ඇතුලත් කරන ලෙස නිර්දේශ කර තිබේ.

“කරන ලද අපරාධය කොයි තරම් බරපතල වුවත්, පුද්ගලයකුගේ නොකෙලසීමේ අයිතියට හා අභිමානයට පහර එල්ල කරන මරණීය දණ්ඩනය කිසිසේත් අනුමත කළ නොහැක,” යයි කාදිනල්, රදගුරු සහ  කතිකිස්ම ගුරු සමූහයක් අමතා ප්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය ඔක්තෝබරයේ රෝමයේදී දේශනා කර තිබුනි.

ලංකාවේ බෞද්ධ හා කතෝලික නාහිමිවරුන්ගේ ප්‍රසාදය හිමිවී ඇති මරණ දණ්ඩනය දේශීය හා  ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන විසින් හෙලා දැක තිබේ.

අපරාධ අඩු කිරීමේ හැකියාවක්  මරණීය දණ්ඩනයට ඇති බවට කිසිදු හේතු සාධකයක් නැතැයි පෙන්වා දෙන ඇම්නස්ටි ජාත්‍යන්තරය, මත්ද්‍රව්‍ය  පිළිබඳ  අපරාධ සම්බන්ධ වරදකරුවන් එල්ලුම් ගස් යැවීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කරයි.

“ලෝකයේ බහුතරයක් මරණ දණ්ඩනයට පිටුපා ඇති කලෙක, වැරදි දිසාවට හැරී මෙම බියජනක පුරුද්ද පවත්වාගෙන යමින් සිටින ඇකිලී යන සුළුතර රාජ්‍ය කිහිපයකට එක්වීමේ අනතුරට මුහුණ පා සිටී,” යි ඇම්නස්ටි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු කලාපිය අධ්‍යක්ෂික දිනුෂිකා දිසානායක නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවට අනතුරු අඟවන්නීය.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ සහතික වී ඇති බවද ඇම්නස්ටිය මතක් කර දෙයි.

ශ්‍රී ලංකාවෙන් මරණ දඬුවම තුරන් කර දැමීමට රජය කටයුතු කරන බවට වර්තමාන රජය බලයට පත්වූ අලුත විදේශ අමාත්‍ය මංගල සමරවීර 2015 සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුව ඉදිරියේ සහතික වී තිබුනි.

මරණ දඬුවම අහෝසි කරන ලෙස එයින් තුන් මසකට පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබුනි.

අපරාධ අනුපාතය අඩුකිරීමට හෝ අපරාධ වැළැක්වීමට මරණ දඩුවම හේතුවූ වග දැක්වීමට පර්යේෂණාත්මක දත්ත නොමැති බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම 2016 ජනවාරියේ ජනාධිපතිවරයාට ලියූ ලිපියක සඳහන් වෙයි.

මේ වනවිට ලෝකයේ රටවල් 142ක් මරණ දණ්ඩනය පැනවීම හා ක්‍රියාත්මක කිරීම අහෝසි කර ඇති අතර, ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 19ක් කිසිම වරදකට දඬුවම් වශයෙන් මරා දමන්නේ නැති බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.

 

Related posts

Comments are closed.

Top