අත්අඩංගුවේ දී පොලිසිය දස වද දෙන බව ෆීල්ඩ් මාර්ෂල් පිළිගනී | VIDEO

අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිසිය වධහිංසා පමුණුවන බවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කර ඇති හෙළිදරව් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් තහවුරු කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට බොරු චෝදනා නගා සිරගත කරනු ලබන පුද්ගලයන් ට පොලිසිය වධහිංසා කරන්නේ කප්පම් ගැනීමට බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යවරයා  චෝදනා කරයි.

අහිංසකයන් අල්ලාගෙන “පොලිසි වලට ගෙනිහිල්ලා, අත් දෙකෙන් එල්ලලා, පොලිතින් බෑග් ඔලුවට දාලා, ඇස් වලට මිරිස් කොටලා” වද දෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍ය වේදීන් හමුවේ කියා සිටියේය.

පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් පිටතට ගෙන ගොස් නඩු නැතිව මරා දැමීම ද “සම්පුර්ණයෙන්ම අමානුෂික වැඩක්” ලෙස හිටපු හමුදාපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

තමන්ද බලතල හොබවන වර්තමාන පාලනය යටතේ සිදුවන එවැනි මානව හිමිකම් උල්ලංඝන අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් හඳුන්වන ලද්දේ “ගෝඨාභය රාජපක්ෂලාගේ කාලේ” කටයුතු ලෙසිනි.

කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය මැඩලීමේ රාජකාරිය භාර දිය යුත්තේ පොලිසියට බව පවසන ඔහු ඒ සඳහා යුද හමුදාව යෙදවීමට ජනාධිපතිවරයා මුල්වී ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පල කළේය.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් මේ සතියේ අනුමත කර තිබුනි.

“මේවා හමුදාවේ රාජකාරි නෙවෙයි, පොලිසියක් එහෙනම් මොකටද තියෙන්නේ?” යි එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රශ්න කර සිටියේය.

වධහිංසාවෙන් මුල්තැන 

රාජපක්ෂ ආණ්ඩු සමයේ මෙන්ම මෛත්‍රී – රනිල් පාලනය යටතේත් වධහිංසා කිරීම ආවේනික සහ දෛනික චර්යාවක් ලෙසින් පවත්වාගෙන යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කර තිබේ.

පසුගිය අවුරුද්දේ මාර්තුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දුන් වාර්තාවකින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇති පරිදි අත් අඩංගුවේදී සිදු කරන වධහිංසා ඇතුළු කෙලෙසීම් පුළුල් ලෙස පැතිර පවතී.

මේ ආණ්ඩුවේ පාලන කාලය තුලදී අත්අඩංගුවේ වද බන්ධනයට ලක්වී පලා ආ හැත්තෑවකට අධික පිරිසක තොරතුරු තමන් විසින් ලේඛන ගත කොට ඇති බව යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පවසයි.

බ්‍රිතාන්‍යය මුලස්ථාන කොටගත් වධහිංසාවෙන් නිදහස (Freedom from Torture – FFT)  මානව හිමිකම් සංවිධානය විසින් පසුගිය අගෝස්තුවේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව ලෝකයේ වධහිංසා පමුණුවන රටවල් අතරින් මුල් තැන ගන්නේ ශ්‍රී ලංකාවයි.

මේ ආණ්ඩුවේ පාලනය යටතේත් අත් අඩංගුවේදී කරන වධහිංසා සහ ලිංගික අපරාධ පිළිබඳ චෝදනා රැගත් හෙළිදරව්වක් AP මාධ්‍ය සේවාව විසින් පසුගිය නොවැම්බරයේ පල කර තිබුනි.

Related posts

Comments are closed.

Top