හිදැස: විජයකලා ආයාචනය හා නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව

පළාත් සභා මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වීම මෙම සතියේ සිංහල පුවත්පත් තුළ ප්‍රධාන මාතෘකාවක් විනි. ඒ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් සපයා තිබුණේ සීමාසහිත අදහස් දැක්වීමක් පමණි. කෙසේ වුවත් මෙහිදී පැරණි මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණයන් පැවැත්වීම කෙරෙහි සුළුතර පක්ෂ වඩා කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබිණි. එසේම පාතාල ලෝකයේ යැයි සැක කෙරෙනා ක්‍රියාකාරකම් සහ මිනීමැරුම් සඳහා ලැබුණු ප්‍රමුඛ ආවරණයක් සමගින්, නීතිය හා සාමය සම්බන්ධ ගැටළු වෙත දිගින් දිගටම භාෂා දෙකේම පුවත්පත් තුළ ප්‍රධාන අවධානයක් ලැබී තිබිණි.

විජයකලා මහේශ්වරන්ගේ ‘එල්ටීටීඊය නැවත ගෙන ඒමේ’ ප්‍රකාශය

යාපනයේ පැවති උත්සවයකදී එවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වූ විජයකලා මහේශ්වරන් විසින් සඳහන් කරන්නට යෙදුණේ, උතුරු පළාතේ වැඩිවෙමින් පවතින අපරාධ සහ නීතිය වල්වැදීම පාලනය කිරීම සඳහා එල්ටීටීඊය නැවත පැමිණීම ඇතැම් විට අවශ්‍ය විය හැකි බවයි. යාපනයේ සිදුවූ නොයෙකුත් බරපතළ අපරාධයන් පිළිබඳ වාර්තාවන්ගෙන් පෝෂණය වූ දමිළ පුවත්පත් වාර්තාකරණ පසුතලයේ තබමින් විජයකලාගේ එම ප්‍රකාශය දමිළ පුවත්පත් තුළ ගෙන හැර දැක්වුණි.

මේ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ දෘෂ්ටීන් තුනක් මතුවී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විනි.

මෙයින් ප්‍රමුඛතම දමිළ පුවත්පත් මතය ඇය විසින් ඉදිරිපත් කළ පණිවුඩයේ හරය කෙරෙහි විශාල වශයෙන් සානුකම්පිත වී තිබිනි. එම හරය නම්, වර්තමානයේ ශ්‍රී ලංකා රජය යටතේ සිටිනවාට වඩා යුද සමයේදී එල්ටීටීඊය යටතේ සිටියදී දමිළයන් වඩාත් ආරක්ෂිත වූ බවයි. තව දුරටත් මෙම දෘෂ්ටියේ ඇතැම් කොටස් මගින් විජයකලාගේ ප්‍රකාශය අරුත් ගන්වා තිබුණේ, වර්තමාන රජය විසින් දමිළ ප්‍රජාව වෙනුවෙන් තමන් අත ඇති ආරක්ෂාව සැපයීම යන වඩාත් මූලිකම වගකීම පවා ඉ‍ටු කිරීමට අසමර්ථ වී ඇති බව පිළිගැනීමක් ලෙසිනි.

දෙවෙනුව දමිළ පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින් විජයකලා මහේශ්වරන්ගේ ප්‍රකාශය දැක තිබුණේ වගකීම් විරහිත සහ ඇතැම් විට අවස්ථාවාදි ප්‍රකාශයක් ලෙසිනි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, උදයන් කතුවැකිය මගින් ළමා හා කාන්තා කටයුතු සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරිය විසින් යාපනයේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එල්ටීටීඊය නැවත ගෙන ඒමට යෝජනා කිරීමේ උත්ප්‍රාසය පෙන්වා දෙන්නට යෙදුනු අතර තම තනතුරේ වගකීම් අත් හැරීම සම්බන්ධයෙන් ඇය විවේචනයට ලක් කොට තිබිණි.

තුන්වනුව, විජයකලා මහේශ්වරන්ගේ ප්‍රකාශය නොපිළිගත හැකි එකක් ලෙසින් දක්වන අතරේදීම ඇතැමුන් විසින් තර්ක කොට සිටියේ, ක්‍රමයෙන් වැඩිවන ස්ත්‍රී පුරුෂ භාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ කුඩා දරුවන්ට ලිංගික අපරාධ සිදුකිරීම දකිනා කාන්තාවකගේ සැබෑ භාවාත්මක ප්‍රතිචාරයක් ලෙසින් ඇගේ ප්‍රකාශය දැකිය යුතු බවටයි.

තවදුරටත් මහේශ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිව දකුණේ නැඟී එන කලබලය සහ ඇය ඉල්ලා අස්විය යුතු බවට දකුණෙන් නැගෙන ජනරාවය දමිළ පුවත්පත් මගින් නිරූපණය කොට තිබුණේ වර්ගවාදී එකක් ලෙසිනි. ප්‍රභාකරන්ගේ පාලනය යටතේ දමිළ ප්‍රජාව ආරක්ෂිත වූ බවට වන සත්‍යය කියා පෑම මගින් අයකු ත්‍රස්තවාදියකු නොවෙන බවට මහ ඇමති සී.වී.විග්නේශ්වරන් විසින් කළ තිර ප්‍රකාශය දමිළ පුවත්පත් වාර්තා පුරා පැතිර ගොස් තිබිනි. වාලම්පුරි කතුවැකියෙන් නිරීක්ෂණය කොට තිබුණේ, සිංහල දේශපාලනඥයන් විසින් මහේශ්වරන්ගේ ඉල්ලා අස්වීම සඳහා බල කිරීමට එකම හේතුව ඇය දමිළ වීම නිසාය යන්නයි.

සිංහල පුවත්පත් වලට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ පුවත්පත් මගින් විශේෂ අවධානයක් යොමු කොට තිබුණේ, ඔවුන් පවසන ආකාරයටම දක්වන්නේ නම් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම සිදුවීම යොදාගන්නා පාර්ශව වෙතයි. බොහෝ දමිළ ලිපි මගින් නිරීක්ෂණය කොට තිබුණේ, නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවෙන් පසුව රාජපක්ෂවරුන් වෙත එල්ල වූ සෘණාත්මක මාධ්‍ය අවධානය වෙනත් දෙසකට හැරවීම උදෙසා ජාතිකවාදී මතභේදයක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සාර්ථකව සමත් වී ඇති බවයි. මන්ත්‍රී මණ්ඩලය තුළ මෙම ගැටළුව මුලින්ම මතු කරන්නට යෙදුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එස්.එම්.මරික්කාර් බව ඉස්මතු කොට දක්වමින් දමිළ දේශපාලන ලියුම්කරුවකු විසින් යෝජනා කොට තිබුණේ, එක්සත් ජාතික පක්ෂය තුළ සිටිනා වික්‍රමසිංහ-විරෝධී පාර්ශව මගින් පක්ෂය අස්ථාවර කිරීම සඳහා විජයකලා මහේශ්වරන්ගේ ප්‍රකාශය පාවිච්චි කොට ඇති බවටයි.

එසේම මෙම අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මගින් දැක්වූ ප්‍රතිචාරය කෙරෙහිද දමිළ පුවත්පත් මගින් අදහස් දක්වා තිබිනි. මහේශ්වරන් ඇගේ ධූරයෙන් ඉල්ලා අස්විනි. ගත යුතු විනය ක්‍රියාමාර්ග නිර්ණය කිරීම සඳහා විමර්ශන මණ්ඩලයක්ද පිහි‍ටුවිනි. දමිළ ලියුම්කරුවකු විසින් ඉස්මතු කොට තිබුණේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජෙෂ්‍යඨ සාමාජිකයන් එක් අයකුවත් මහේශ්වරන් වෙත පුද්ගලිකව විවේචනයක් එල්ල නොකළ බවයි. මේ ලෙසින් එක්සත් ජාතික පක්ෂය මගින් රුධිරය ඉල්ලා කෑ ගසනා උග්‍ර සිංහල බෞද්ධ කොටස් සනසන අතරතුරදීම, වැදගත් දෙමළ ඡන්ද පදනමද ‍රැක ගැනීම ඉලක්ක කොටගත් ද්වි-ආකාර උපාය මාර්ගයක් අනුගමනය කරනා බව පෙනී යයි.

ඉහළ: නිව්යෝර්ක් ටයිම්ස් පහළ: ඩොලර් මිලියන 7.6 | වීරකේසරී කාටුනයක්

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව: එකිනෙකට වෙනස් අදහස්

චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම සහ රාජපක්ෂ රජය අතර නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සිදුවූ බවට නිව්යෝර්ක් ටයිම්ස් මගින් සිදුකරනා ප්‍රකාශයේ සත්‍යතාවය සම්බන්ධයෙන් සිංහල පුවත්පත් තුළ තියුණු වාදවිවාද දක්නට ලැබිණි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ පුවත්පත් තුළ මෙම ලිපියේ සඳහන් වන චෝදනා වක්‍රාකාරව පිළිගැනීමක් දක්නට ලැබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, වීරකේසරී මගින් නිව්යෝර්ක් ටයිම්ස් සම්පූර්ණ ලිපියේ පරිවර්තනය ප්‍රමුඛතාවයකින් යුතුව ප්‍රකාශයට පත් කොට තිබිණි. මෙම චෝදනාවට එරෙහිව රාජපක්ෂවරුන් සහ ඒකාබද්ධ විපක්ෂය මගින් සිදුකර තිබූ ප්‍රති-ප්‍රකාශ දමිළ පුවත්පත් තුළ එතරම් අවධානයක් ලබාගෙන නොතිබුණි.

නිව්යෝර්ක් ටයිම්ස් ලිපියට ප්‍රතිචාර දක්වන ඇතැම් සිංහල පුවත්පත් මගින් එය ශ්‍රී ලංකාවට එරෙහි ‘එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී න්‍යායපත්‍රයේ’ දිගුවක් ලෙසින් සලකමින් එම ලිපිය නිශ්ප්‍රභා කොට තිබුණත්, දමිළ පුවත්පත් මත දැක්වීම් ඒ වෙනුවට සිය අවධානය යොමු කොට තිබුණේ ක්‍රමයෙන් වර්ධනය වන චීන බලපෑම වෙතයි. චීනය කාලයාගේ ඇවෑමෙන් හම්බන්තොට වරාය ඔවුන්ගේ නාවික හමුදා කඳවුරු වලින් එකක් බවට පරිවර්තනය කරනු ඇතැයි යන්න ඉඟි කරමින් වූ වීරකේසරී ලිපියක් මගින් හම්බන්තොට වරාය සහ ඒ යාබද භූමිය සම්බන්ධව වන චීන පාලනය නිරූපණය කොට තිබුණේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ සැලකිලිමත් විය යුතු කරුණක් ලෙසිනි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භූ-දේශපාලනික පාලනය සඳහා වූ තරගයක එක්සත් ජනපදය සහ චීනය නිරත වන බව පවසා සිටි සිංහල පුවත්පත් වලට වෙනස් ලෙසකින්, දමිළ දේශපාලන නිරීක්ෂකයන් විසින් ඉන්දියාවේ භූමිකාව වඩාත් තියුණු ලෙසින් විශ්ලේෂණය කොට තිබිණි. දමිළ භූ-දේශපාලනික විශ්ලේෂකයන් විසින් මත්තල ගුවන් තො‍ටුපලේ පාලනය සඳහා ඉන්දියාව මෑතකදී ගත් පියවර අර්ථ නිරූපණය කර තිබුණේ, චීනයේ බලය විකාශනයට අභිමුඛ වීම සඳහා වූ පියවරක් ලෙසිනි. “චීන බලපෑම උතුරටද දිගුවේ” යන මැයෙන් යුතුවූ වීරකේසරී ලිපියක් මගින් හඟවා තිබුණේ, උතුරු පළාතේ ගඩොලින් බැඳි නිවාස 40,000 ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රජය විසින් චයිනා රේල්වේ බේජිං සමාගමට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව නොසතු‍ටු වී සිටිනා බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top