“කසිකබල් සටන්පාඨ”: ජනපතිගෙන් ජනබලසේනා විරෝධයට ප්‍රහාරයක් | VIDEO

ආණ්ඩුව රට පාවා දෙන බවටත් විදේශීය බලවේග වලට යටත් වන බවටත් පැරණි සටන් පාඨ ම හඬ නගන බවට මහින්ද රාජපක්ෂ වාදීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර බලපෑම් නවත්වා දැම්මේ තමන්ගේ නායකත්වයෙන් යුත් රජය බවට නැවත වතාවක් ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ වාග් ප්‍රහාරයේ ඉලක්කය වූයේ ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කොළඹ පැවැත්වූ ජනබල සේනා විරෝධතාවටයි.

වර්තමාන රජය “රට බෙදීම, යුද සෙබළුන් දඩයම් කිරීම සහ සිංගප්පූරුව ඇතුළු විදේශීය රටවල් සමග ගිවිසුම් ඔස්සේ රට විකිණීම” ඇතුළු ක්‍රියාකාරකම්වල යෙදී ඉන්නා බවට චෝදනා කරමින් විරෝධය දියත් කර තිබුනි.

ඒවා “පරණ, කසිකබල් සටන්පාඨ” ලෙස හෙලා දුටු ජනාධිපතිවරයා තමන් රට පාවා නොදෙන බව සහතික කිරීමට කිහිප වර කරන ලද ප්‍රකාශයක් මනම්පිටියේ භෝජන ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකට දී නැවත අවධාරණය කළේය.

“එදා කතා කරපු ජාත්‍යන්තර යුද අධිකරණය, එදා කතා කරපු විදුලි පුටු, එදා කතා කරපු විනිශ්චයකාරවරු එව්වා නැවැත්තුවේ අපි.”

ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත් නිසා ජනතාව දුෂ්කරතා වලට මුහුණ පා සිටින බවට රාජපක්ෂවාදී කඳවුරෙන් නැගෙන චෝදනාවට පිළිතුරු ලෙසින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව බලයට පත් වූයේ “ප්‍රශ්න වලින් රට නිදහස් කොට ඓතිහාසික පරිවර්තනයක් කිරීම” සඳහා විනා “බඩට කන්න දීලා, සාක්කු පුරවලා” නොවන බවයි.

Related posts

Comments are closed.

Top