අලුත් ස්විස්-ලංකා ගිවිසුමට වධහිංසා ගැනත් අඩංගු කරන ලෙස ජාත්‍යන්තර බලපෑම්

ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර අත්සන් කෙරුනු සංක්‍රමණික කටයුතු පිළිබඳව ගිවිසුමට වධහිංසාවට එරෙහිව කටයුතු කිරීම ඇතුළු මානව හිමිකම් පිළිබඳ කරුනු ඇතුලත් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් දෙරටින් ඉල්ලා සිටියි.

සංක්‍රමණික හවුලක් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට යුක්තිය හා පොලිස් කටයුතු පිළිබඳ ස්විස් අමාත්‍ය සිමොනෙත්තා සොම්මරුගා සහ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න විසින් 6 සඳුදා කොළඹදී අත්සන් තබන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් “ශ්‍රී ලංකාවට තවත් යා යුතු දුර” ඇතැයි පවසන ස්විස් අමාත්‍යවරිය ඒ සඳහා දිවයිනට දෙනු ලබන සහාය වැඩි දියුණු කිරීම ස්විට්සර්ලන්ත රජයේ අරමුණ බව පවසන්නීය.

සංහිඳියා ක්‍රියාදාමය වැඩි දියුනු කිරීමත් හා මානව හිමිකම් ශක්තිමත් කිරීමත් මෙන්ම, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමටත්, කලාපයේ ශ්‍රම සංක්‍රමණය ආරක්ෂා සහගත කිරීමටත් නව ගිවිසුම සැකිල්ලක් සම්පාදනය කරනු ඇති බවට ඇය කොළඹදී විශ්වාසය පල කර සිටියාය.

නීතියේ ආධිපත්‍යය හා සංහිඳියාව ප්‍රවර්ධනය කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිරන්තර සංවාදයක් ඇති කරගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව සලකා බැලීම ගිවිසුමේ අපේක්ෂාවක් ලෙස දක්වා තිබේ.

කෙසේ වෙතත්,  සංක්‍රමණික හවුල් ගිවිසුම් වලදී මානව හිමිකම් පිලිබඳ කරුණු ප්‍රමාණවත් ලෙස සැලකිල්ලට නොගන්නා බවට ඇම්නස්ටි ජාත්‍යන්තරය අනතුරු අඟවයි.

“කොසෝවෝ සහ නයිජීරියා වැනි රටවල් සමග එළැඹි හවුල්කාරීත්ව ගිවිසුම් වලදී ඒ සම්බන්ධයෙන් කළ වැරදි නැවතත් සිදු නොකළ යුතුයි,” යනුවෙන් ඇම්නස්ටිය ජිනීවා සිට නිකුත් කළ නිවේදනයක පවසයි.

යුද අපරාධ

මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් දෙරට අතර ද්වි වාර්ෂික සාකච්ඡා පවත්වන ලෙස ඉල්ලා සිටින ජාත්‍යන්තර සංවිධානය  දේශපාලන රැකවරණ සඳහා කළ ඉල්ලීම් අසාර්ථක වී ආපසු ශ්‍රී ලංකාව බලා යවනු ලබන පුද්ගලයන්ගේ ආරක්ෂාව ස්විට්සර්ලන්තය විසින් ඉහලම ප්‍රමුඛත්වයෙහි ලා සැලකිය යුතු බව අවධාරණය කරයි.

“සිවිල් යුද්ධයේදී කරන ලද අපරාධ සම්බන්ධයෙන් සලසා ඇති දණ්ඩ මුක්තිය, නීතියේ ආධිපත්‍යය සහ වධහිංසාවට එරෙහි අරගලය සංක්‍රමණික හවුල් ගිවිසුමේ කේන්ද්‍රීය කරුණු ලෙස අන්තර්ගත කරගන්නා ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය ස්විට්සර්ලන්තයෙන් හා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.”

පනස්දහසකට අධික ලාංකිකයන් වාසය කරන ස්විට්සර්ලන්තයේ ඉල්ලූ දේශපාලන රැකවරණ නොලද ශ්‍රී ලාංකිකයන් එරටින් පිටුවහල් කිරීම සඳහා දෙරට අතර මුල්වරට ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ 2016 ඔක්තෝබරයේය.

එම ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි සිමොනෙත්තා සොම්මරුගා අමාත්‍යවරියට මහ ඇමැති සීවී විග්නේස්වරන් පවසා තිබුනේ රටින් පලා ගොස් පිටරට දේශපාලන රැකවල් පතා සිටින්නන් හරවා එවීමට තරම් ශ්‍රී ලංකාව ආරක්ෂකාරී නොවන බවයි.

දෙවසරකට ඉහතදී අත්සන් කරන ලද ගිවිසුම සාර්ථක බව ඔප්පු වී ඇතැයි පවසන ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය පිටුවහල් කිරීම සම්බන්ධ ප්‍රශ්න නව හවුල් ගිවිසුම විසින් “මූලික කරුණක් ලෙස” සැලකිල්ලට ගෙන නැතැයි පවසයි.

“දේශපාලන රැකවරණ ඉල්ලන පුද්ගල අයැදුම්පත් සලකා බැලීමේදී, වර්තමාන තත්වයත්, මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගින් දිගටම දක්වා ඇති අඩුපාඩුත්, පිළිබඳව සංක්‍රමණය පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය විසින් අවධානය යොමු කරනු ඇතැ,” යි විදේශ අමාත්‍යාංශය බර්න් අගනුවරින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත්, අක්‍රමවත් සංක්‍රමණ නැවත්වීම, සංක්‍රමණිකයන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය නැවත්වීම සහ මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කිරීම අවබෝධතා ගිවිසුමේ අරමුණු ලෙස සඳහන් කරයි.

සුළඟේ පාවෙන පොරොන්දු

මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දුන් පොරොන්දු ගණනාවක්ම ඉටු කර නැතැයි පෙන්වා දෙන ඇම්නස්ටි ජාත්‍යන්තරය, ත්‍රස්ත විරෝධී අනපනත් යොදාගෙන අත් අඩංගුවේ දී වධහිංසා පැමිණවීම සහ අතුරුදහන් කරවීම දඬුවම් පැමිණවිය හැකි වරදක් ලෙස නීති සම්මත කර නොගැනීම උදාහරණ ලෙස පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලද දෙමළ පනස් දෙනකු අතරින් සාතිශය බහුතරය වධබන්ධනයට ලක් කරන ලද බව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ත්‍රස්තවාදය පි‍ටුදැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් විසින් එලි දක්වන ලද අලුත්ම වාර්තාවේ සඳහන් කර තිබුනි.

එය සිහිපත් කරදෙන ඇම්නස්ටි ජාත්‍යන්තරය වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් 2017 දෙසැම්බරයේදී අත්සන් කරනු ලැබුවත්, වධකයන්ට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුව පියවර නොගන්නා බව  පෙන්වා දෙයි.

ආණ්ඩුවේ ප්‍රතිඥා ඇම්නස්ටිය විසින් හඳුන්වා දී ඇත්තේ “සුළඟේ පාවෙන පොරොන්දු” ලෙසිනි.

“ශ්‍රී ලංකාව සමග හවුල්කාරිත්වයන්ට එළැඹීමේ දී, මානව හිමිකම් කේන්ද්‍රීය කාරණයක් කරගැනීම අනිවාර්ය වෙයි. සුළඟේ පාවෙන පොරොන්දු වලට එකඟ වීම ප්‍රමාණවත් නොවේ. ප්‍රජාතාන්ත්‍රීකරන ක්‍රියාදාමය, පොලිස් පුහුණුව සහ අධිකරණ පද්ධතිය යන ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගත යුතු වෙයි. සුළුජාතීන්ට නිසි පිළිගැනීම සලසා දී අයිතිවාසිකම් ලබා දිය යුතුයි.”

2016 දී අත්සන් කරන ලද ගිව්සුම අනුව මේ වසරේදී පමණක් ස්විට්සර්ලන්තයෙන් ආපසු ගිය ශ්‍රී ලාංකිකයන් ගණන 201 ක් යයි ස්විස් රාජ්‍ය ලේකම් කාර්යාලය පවසයි.

 

Related posts

Comments are closed.

Top