කරුණානිධි මියයයි: මෝඩි කම්පාවෙයි, සත්දින ශෝක කාලයක්

දශක අටක් දේශපාලනයේ නිරතවී පස් වතාවක් තමිල්නාඩුවේ මහ ඇමැති පදවිය දැරූ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් නායක දක්ෂිණමුර්ති මුතුවේල් කරුණානිධි චෙන්නායි නුවර රෝහලකදී අවසන් හුස්ම හෙලීය.

ඔහුට ගෞරව පිණිස අගෝස්තු 8 වැනිදා ශෝක දිනයක් ලෙස නම් කර ඇති තමිල්නාඩු ප්‍රාන්ත රජය සත් දින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

හිටපු මහ ඇමැති අභාවයෙන් මහත් සන්තාපයට පත් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශෝක පණිවුඩයක් නිකුත් කරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් කරුණානිධි හඳුන්වා දී තිබුනේ “තදින් මුල් බැසගත් ජන නායකයකු, මහා චින්තකයකු, නිපුණ ලේඛකයකු සහ දුගී දුප්පතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ජීවිතය කැපකළ දැවැන්තයකු” ලෙසිනි.

මියයන විට 94 වැනි වියේ පසුවූ ඔහු සිය දේශපාලන විරුද්ධවාදීන් වූ එම් ජී රාමචන්ද්‍රන් සහ ජයලලිතා ජෙයරාම් හිටපු සිනමා තාරකා සමග තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනය අරා සිටියෙකි.

කලෙයිඥර් (කලාවේදී) නමින් හැඳින්වුනු කරුණානිධි බාල වයසේදීම පාසල් ගමන නිම කළත් තිර රචනයෙන්, ගී පබැඳුමෙන් හා දෙබස් රචනයෙන් දෙමළ සිනමාවට දායක වී ඇති අතර කවි සහ නවකතා රචනයෙන් දෙමළ සාහිත්‍යයේ නමක් දැරුවෙකි.

අනාගමික හේතුවාදියකු ලෙස ප්‍රකට ඔහු ලේඛනයට හා දේශපාලනයට එකවර පිවිසුනේ 14 වැනි වියේදී හින්දු කුලවාදයට එරෙහිව දියත් කෙරුනු  යුක්තිය පක්ෂය වෙනුවෙන් අතින් ලියූ මානවර් නේසන් (සිසු දයාව) පුවත්පතේ කටයුතු වලට මැදිහත් වෙමිනි.

Related posts

Comments are closed.

Top