ආණ්ඩුවේ ඉබි ගමන ගැන සම්බන්ධන් ස්විස් ඇමැතිනියටත් කියයි

දෙමළ ජනතාව මුහුණ පා සිටින ගැටළු විසඳීම හා ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රගතියක් අත් කරගෙන නැති වීම පිළිබඳ කලකිරීම ගැන ශ්‍රී ලංකාවට පැමිණ සිටින තවත් ජාත්‍යන්තර දුත මණ්ඩලයක් හමුවේ රටේ ප්‍රධානම දෙමළ දේශපාලන පක්ෂය කරුනු දක්වා තිබේ.

මානව හිමිකම් නගා සිටුවීමට අදාලව දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ඉකුත් තුන් අවුරුද්දක පාලන කාලය තුලදී රජය සමත්කමක් දක්වා නැති බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් පවසා ඇත්තේ ස්විට්සර්ලන්ත අධිකරණ අමාත්‍යවරිය ඇතුළු නියෝජිත පිරිසක් ත්‍රිකුණාමලයේදී හමුවූ අවස්ථාවේය.

සුළුතරයක් වශයෙන් දෙමළ ජනතාව ශ්‍රී ලංකාව තුළ මුහුණ පා සිටින තත්වය අවබෝධ කරගැනීම දෙමළ ජාතික සන්ධානයේ නායකයා සමග සාකච්ඡා කිරීමේ අරමුණ බව සිමොනෙත්තා සොම්මරුගා අමාත්‍යවරිය දිවයිනේ සිව් දින සංචාරයක් ආරම්භ කරමින් ප්‍රකාශ කර තිබුනි.

අතුරුදහන් වූවන්, යුද හමුදාව විසින් ඉඩම් අත්පත් කරගෙන සිටීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවාගෙන සිටීම, පුනරුත්ථාපනය සහ නිවාස ගැටළු විසඳීම සම්බන්ධයෙන් ඇමැතිනිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මාධ්‍යවේදීන්ට පවසා සිටියේය.

සංහිඳියාව සහ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ද දිවයිනට පැමිණ සිටින ස්විස් අමාත්‍යවරියගේ විශේෂ අවධානයට යොමුවී තිබේ.

රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම කඩිනම් කිරීම සඳහා රජයට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කළ යුතු බව විපක්ෂ නායකයා ස්විස් අධිකරණ අමාත්‍යවරිය ඇතුළු දූත මණ්ඩලයට අවධාරණය කර තිබේ.

Related posts

Comments are closed.

Top