“හිස් බස් දොඩන මහා මාධ්‍ය වීරයන්ට” අලි, රිලා ප්‍රශ්න විසඳීමට එන ලෙස ජනපතිගෙන් ආරාධනා | VIDEO

මෙතෙක්  ආණ්ඩු කළ පාලකයන් විසින් විසඳීමට අසමත් වී ඇති බවට විසින් හඳුනාගෙන දැවෙන ප්‍රශ්න දෙකක් සඳහා විසඳුම් ලබා දීමට ඉදිරිපත් වන ලෙස ජනාධිපතිවරයා රජය විවේචනය කරන මාධ්‍යවේදීන්ට සහ බුද්ධිමතුන්ට ආරාධනා කර සිටී.

බලයට පත්වී තුන් අවුරුද්දක් ගතවී තිබියදීත් දුන් පොරොන්දු ඉටු කිරීම හා ගැටළු සඳහා විසඳුම් ලබා දීම මන්දගාමීව සිදුවන බවට දේශීය හා ජාත්‍යන්තර විවේචනයට ලක්වී තිබෙන ශ්‍රී ලංකා රජයේ නායකයා තම ආරාධනය කළේ “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීමේ” අවස්ථාවට එක්වෙමිනි.

එම තිරසාර කතිකාවට මුල පිරීම සඳහා විසඳිය යුතු ප්‍රශ්න දෙකක් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හඳුනාගෙන තිබුනේ අලි-මිනිස් ගැටුම සහ වන සතුන් විසින් බෝග විනාශ කිරීමයි.

“මේ ප්‍රශ්න දෙකෙන්ම අපි ෆේල්,” යයි කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට රැස්වූ පිරිස අමතා කී ජනාධිපතිවරයා ඊට විසඳුම් දෙන ඕනෑම අයකුට තමන් පුද්ගලිකව හමුවීමට එන ලෙස ආරාධනා කළේය.

රටේ ආහාර නිෂ්පාදනයෙන් සියයට 35 කට වැඩියෙන් වඳුරන්, රිලවුන්, අලින්, ඌරන් සහ මොනරුන් විසින්  විනාශ කරනු ලබන බව පැවසූ ඔහු රටවැසියන් හඳුන්වා දුන්නේ “තමන්ට කන්න තියෙන දේ සත්තුන්ට කන්න දීලා බඩගින්නේ ඉන්න ජනතාවක්” ලෙසය.

රටේ රිලා සහ වඳුරු ගහණය දශලක්ෂයකට අධික බව කී ඔහු එම වානර ප්‍රජාවෙන් සිදුවන හානියේ තරම විස්තර කොට දැක්වීය.

රටේ ප්‍රශ්න රුපවාහිනිය ඔස්සේ “විවේචනයට, ප්‍රහාරයට” ලක් කරන මාධ්‍යවේදීන් “හිස් බස් දොඩන කිසිම වටිනාකමක් නැති මහා මාධ්‍ය වීරයෝ,” ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ  දැඩි දෝෂ දර්ශනයට  ලක්විය.

විවේචකයන් සහ මාධ්‍යවේදීන් ගෙන් ජනාධිපතිවරයා දැඩි ස්වරයෙන් ඉල්ලා සිටියේ “පහලට බැහැලා විසඳුම් ලබා දෙන ලෙසයි”.

රජයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති නිම කරගැනීමට අවශ්‍ය විද්වත් ශ්‍රමය හිඟ බවට කනස්සල්ල පල කළ  ජනාධිපති වරයා, විදේශගත ඉංජිනේරුවන් සහ කාර්මික නිලධාරීන් ට “හැමදාම ලංකාවේ ඉන්න නොවෙයි ඇවිත් අවුරුදු දෙකක්, තුනක්, පහක් ඉඳලා යන්නැ,” යි ද ආරාධනය කළේය.

Related posts

Comments are closed.

Top