මන්නාරම සතොස සමූහ මිනීවලට මාධ්‍ය තහංචියක්

පනස්  දිනක් තිස්සේ කැනීම් සිදු කරනු ලැබූ මන්නාරම සතොස සමූහ මිනීවලේ කටයුතු වාර්තාකරණය සම්බන්ධයෙන් උසාවිය තහනම් නියෝගයක් පනවා තිබේ.

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු 7 දා නිකුත් කර ඇති නියෝගය අනුව සතොස පරිශ්‍රයෙන් හමුවූ අස්ථි කොටස් සම්බන්ධ විශේෂඥ මතය අනාවරණය කරගැනීම සඳහා දිගටම විමර්ශන කෙරෙමින් පවතින භුමියට ඇතුල්වීම, ඡායාරූප ගැනීම සහ දර්ශන පටිගත කිරීම තහනම් වෙයි.

මැයි 26 දා ඇරැඹුනු කැනීම් වලින් මේ වනවිට පූර්ණ අස්ථි පද්ධති 81 ක් ගොඩගෙන ඇතැයි ප්‍රධාන වෝහාරික විශේෂඥ දොස්තර සමින්ද රාජපක්ෂ පවසයි.

ඉදිරි විමර්ශන කටයුතු වාර්තා කිරීමට බලාපොරොත්තු වන දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් ඒ සඳහා අධිකරණයෙන් පුර්ව අවසරයක් ලබාගත යුතු බව වෛද්‍ය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර ගගන හා කියා සිටි පරිදි මන්නාරම මහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන් විසින් පොලිසියේ ඉල්ලීම පරිදි තහනම් නියෝගය පනවා ඇත්තේ වෙන් කර දී ඇති කාලය නොතකා මාධ්‍යවේදීන් මෑතක සිට නිරන්තරයෙන් පැමිණීමෙන් විමර්ශන කටයුතු වලට බාධා පැමිණීම නිසාය.

සතොස සමූහ මිනීවලේ විමර්ශන කටයුතු වල ප්‍රගතිය මහජනතාව වෙත දැනුම් දීම සඳහා නිතිපතා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top