බොදුබලසේනා නායකයා උසාවියට අපහාස කළේ “රණවිරුවන් වෙනුවෙන්” | VIDEO

හය අවුරුද්දකින් ගෙවී යන සේ දහනම අවුරුද්දක සිර දඬුවමක් නියම වූ ගලබොඩඅත්තේ ඥාණසාර  හිමිනම අධිකරණයට අපහාස කළේ රණවිරුවන් වෙනුවෙන් යයි සිංහල ජාතිකවාදී සංවිධාන ප්‍රකාශ කරයි.

මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී  බැනවැදී තර්ජනය කිරීමේ වරදට නියමවූ සිර දඬුවමට එරෙහිව අභියාචනය කොට ඇප ලබා නිදහස්ව සිටින වරදකාර හිමියෝ මේ වනවිට පොලිස් රැකවල් සහිතව බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් 2016 දී ජනවාරි 25 දා රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් කෝපයට පත්ව හෝමාගම අධිකරණයේදී කලහකාරී ලෙසින් හැසිරෙමින් මහේස්ත්‍රාත් වරයා ඇතුළු නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදීමෙන් බොදුබලසේනා නායකයා අධිකරණයට අපහාස කළ බව අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලදී.

අතුරුදහන් සිය සැමියා සොයා දෙන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැළිගොඩ පැවරූ හබයාස් කෝපස් පෙත්සම  නඩුව එදින විභාගයට ගත් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

ඔහු දැන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාය.

උසාවියට නොපැමිණි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැරදිකරු කරමින් තීන්දුව ලබා දුන් අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් විසින් වරදකරු අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනයකට අවසර දුන් අධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් අගෝස්තු 29 දා කරුණු දක්වන ලෙස ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාට නියම කරන ලදී.

බොදුබල සේනා නායකයා හෝමාගම අධිකරණයේ දී කළ අපහාසාත්මක හැසිරීම සිංහල බෞද්ධ සංවිධාන දෙකක නාහිමිවරුන් විසින් හඳුන්වන ලද්දේ “රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමක්” ලෙසයි.

“උන්වහන්සේට අවුරුදු 19 ක සිර දඬුවමක් නියම වුනා අවුරුදු හයකින් ගෙවී යන්න, අපේ රණවිරුවන් වෙනුවෙන් කතා කරන්න, පෙනී ඉන්න ගිහිල්ලා,” යයි බොබසේ සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ උසාවි භූමියේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියහ.

උන්වහන්සේ මෙන්ම සිංහල රාවය සංවිධානයේ  මාගල්කන්දේ සුදත්ත හිමියන් ද කියා සිටියේ බොබසේ නාහිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කළ අපහාසාත්මක ප්‍රකාශ “ගරු මහේස්ත්‍රාත්වරයාගේ අවසරය මත” කරන ලද්දක් බවයි.

මේ අතර සුදත්ත හිමියන් මාධ්‍යවේදීන්ට පැවසූවේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා නගා තමන් මුල්වී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් “ජාත්‍යන්තර ප්‍රජාව පවා” විමසිල්ලෙන් ඉන්නා බවයි.

එම නඩුව සඳහා පැමිණ සිටි  සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍යවරයා උසාවි භූමියේදී හිමිවරුන් දෙනමට වැඳ නමස්කාර කර සිනා මුහුණින් සතුටු සාමීචියේ යෙදෙනු දැකගන්නට ලැබුනි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සැකයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගන්නා ලද ගිරිතලේ යුද හමුදා කඳවුරේ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ලුතිතන් කර්නල් ශම්මි කරුණාරත්න, මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ, සාජන් මේජර් ඩිලන්ජන් උපසේන, කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන, ලුතිනන් චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම් හා තරංග ප්‍රසාද් ගමගේ යන සැකකරුවෝ මේ වන විට ඇප ලබා නිදහස්ව නැවත සේවයේ යෙදී සිටිති.

ඒ පිළිබඳ ඊළඟ මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 24 දා හෝමාගම අධිකරණයේ පැවැත්වීමට නියමිතය.

Related posts

Comments are closed.

Top