හිදැස: මොරගහකන්ද, ගම්පෙරළිය, බ්‍රිතාන්‍ය මන්ත්‍රීගේ සැප සවාරි, කළු ජුලිය 35 සහ සම්බන්ධන් හා රාජපක්ෂ

මෙම සතියේදී ජනපති විසින් මොරගහකන්ද-කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු ආරම්භ කරන්නට යෙදිණි. මෙම අවස්ථාව සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද සුබවාදී ආවරණයක් ලබාගැනීමට සමත් විනි. කෙසේ වුවත් සිංහල පුවත්පත් ආවරණය මගින් මෙයින් උතුරු මැද පළාතට ලැබෙනා වාසි විශාල වශයෙන් මතු කොට දක්වන අතරතුරදී, දමිළ පුවත්පත් මගින් මහවැලි ද්‍රෝණියේ අතිරික්ත ජලය උතුරු පළාතේ චෙන්මඩුකුලම් ජලාශයට මාරු කිරීම සඳහා යෝජිත ව්‍යාපෘතියේ අවසන් අදියර යුහු යුහුව ක්‍රියාත්මක කරනා ලෙසට බල කරන්නට යෙදිනි. රජය මගින් අභිනවයෙන් දියත් කරනු ලැබූ ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිංහල පුවත්පත් විශාල වශයෙන් වාර්තා කොට තිබුණත්, දමිළ පුවත්පත් තුළ මෙම ව්‍යාපෘතිය ලබාගෙන තිබුණේ ඉතාමත් සුළු අවධානයක් පමණි. මෙයට සමාන ලෙසින්ම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලිගේ විවේක සංචාර සඳහා පෙර රජය මගින් අනුග්‍රහය දැක්වූ බවට වූ අනාවරණය වීමද දමිළ පුවත්පත් තුළ සුළු ප්‍රවෘත්තියක් පමණක් වී තිබිණි.

“කළු ජූලිය” වසර 35 යි

“කළු ජූලියේ” සිදුවීම් වලට වසර 35 ක් සපිරීම මෙම සතියේදී සිදුවිණි. මේ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් සිදුකළ මත දැක්වීම්, සිංහල පුවත්පත් තුළ වූ ප්‍රත්‍යවේක්ෂණයන්ගෙන් කරුණු තුනක් ඔස්සේ වෙනස් වී තිබිණි.

පළමුව මේ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වූ සෑම ලිපියකින්ම පාහේ “කළු ජූලියේ” සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා බහුතරය වූ සිංහලයන් විසින් සුළුතරය වූ දමිළයන්ට එරෙහිව දියත් කළ බවට පැහැදිලිවම පෙන්වා දී තිබුණි. දින හතකටත් වැඩි කාලයක් පුරාවට සිංහල මැර කණ්ඩායම් මගින් දමිළයන් සිය ගණනක් ඝාතනය කොට, තවත් දමිළයන් 150,000  කට පමණ නිවෙස් අහිමි කොට තිබූ අතර ඔවුන්ගේ නිවාස සහ ව්‍යාපාර අළු බවට පත් කොට තිබිනි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සිංහල පුවත්පත් ආවරණය මෙම ප්‍රචණ්ඩත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් නොපැහැදිලි වූ අතර, දමිළ ප්‍රජාව විසින් මුහුණ පෑ සංත්‍රාසයන් නිරන්තරයෙන් විස්තර කොට තිබුණේ ‘අපහසුවක්’ නැතිනම් ‘පීඩනයක්’ වැනි වදන් යොදාගනිමිනි.

දෙවෙනුව, රජයේ හිමිකාරීත්වය ඇති සිංහල පුවත්පත් මගින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව එක්සත් ජාතික පක්ෂ රජයේ භූමිකාව සම්බන්ධයෙන් විවේචනාත්මක ඇගයීමක් සිදුකර නොතිබුනි. කෙසේ නමුත් ජාතිකවාදී සිංහල පුවත්පත් මගින්, “කළු ජූලියේ” සිදුවූ අනර්ථයන්ගේ වගකීම එක්සත් ජාතික පක්ෂයට බැරකර සිටි මහින්ද රාජපක්ෂ හට ප්‍රමුඛ මාධ්‍ය ආවරණයක් ලබාදී තිබිණි. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වල වගකීම දමිළ දේශපාලන මත දක්වන්නන් විසින් ජේ.ආර්.ජයවර්ධනට සහ එක්සත් ජාතික පක්ෂයට සෘජුවම බැර කොට සිටි අතර, “කළු ජූලිය” වැන්නක් සිදුවීමට හැකියාව ලැබුනේ සිංහල බෞද්ධ රාජ්‍යයක් තුළ සහ සිංහල ජනගහණයක් තුළ නිදැල්ලේ පැතිර පවතින වර්ගවාදී සහ බහුතරවාදී නැඹුරුතාවයන් නිසා පමණක්ය යන ස්ථාවරය ඔවුන් දරා සිටි බව නිරීක්ෂණය විනි.

තුන්වනුව, “කළු ජූලියේ” සිදුවූ සිදුවීම් ප්‍රජාවන් අතර ගැ‍ටුමක් හෝ කැරළි කෝලාහලයක් ලෙසින් හඳුන්වා දීම සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වූ යම් යම් කොටස් මගින් ගැටළු මතුකොට තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් තිනකුරල් පුවත්පතේ ප්‍රමුඛතම තීරු ලිපියකින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා පෙන්වා දී තිබුණේ, කොළඹ දෙමළ ව්‍යාපාර විනාශ කිරීම සහ දකුණේ සමස්ත දමිළ ජනගහණය දකුණෙන් එලවා දැමීම ඉලක්ක කරගනිමින් දියත් වුණු මනාව සැලසුම්කරනු ලැබූ, වර්ග සංහාරක, දමිළ-විරෝධී වැඩසටහනක් ලෙසිනි.

සම්බන්ධන් සහ රාජපක්ෂ මුණගැසීම

පසුවුණු සතියේදී විපක්ෂ නායක ආර්.සම්බන්ධන් විසින් ශැන්ග්‍රි-ලා හෝටලයේදී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මුණගැසෙන්නට යෙදිණි. මෙම හමුව සිදුවූයේ, මහජන විමුක්ති හමුදාව (PLA) පිහි‍ටුවීමේ 91 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ හමුදා, නාවික සහ ගුවන් හමුදා සම්බන්ධ විශේෂ උපදේශක ජ්‍යෙෂ්ට කර්නල් ෂූ ජියාන්වේ විසින් සංවිධානය කළ උත්සවයකදී යි. ප්‍රවෘත්ති වාර්තා මගින් සඳහන් කෙරුණේ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන්ද ඉදිරිපිට මෙම සංවාදය බොහෝ වෙලාවක් පැවති බවයි.

සාමාන්‍යයෙන් චීන මහජන විමුක්ති හමුදාවේ සංවත්සර සැමරුම් විදෙස් රටවල සිදුකෙරෙන්නේ චීනයේ හමුදා බලය විදහා පෑමට සහ චීනය හා සත්කාරක රට අතර හමුදා සහයෝගය සඳහා ධෛර්යය ලබාදීමට වුවත්, කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේ පැවැත්වුණු සංවත්සරය ප්‍රධාන කොටම දේශපාලනික අරමුණු ඇතිව සිදුවූ බවට එකඟතාවයක් දමිළ පුවත්පත් තුළ දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වූ මත දැක්වීම් මගින්, මෙම අවස්ථාව තුළ ජනපති හෝ අගමැති හෝ වෙනත් බලයක් ඇති රාජ්‍ය ඇමතිවරයකු දක්නට නොලැබීම සහ, මේ වනවිට කිසිදු රාජ්‍ය බලයක් හෝ හමුදා පාලන බලයක් නොදරන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රමුඛතාවයක් ලබාගැනීම අතර වෙනස සංසන්දනය කොට තිබිනි.

සම්බන්ධන්ගේ පසින් මෙන්ම රාජපක්ෂවරුන්ගේ පසින්ද වූ නිල නිවේදන මගින් සඳහන් වූයේ මෙම හමුවීම හුදු අහම්බයකින් සිදුවූ බව වුවත්, දමිළ දේශපාලන ලියුම්කරුවන් තර්ක කොට සිටියේ මෙම සාකච්ඡාව චීනය මගින් කලින් පිළියෙල කර ඇති බවටයි. දමිළ පුවත්පත් මත දැක්වීමේ ලිපියකින් නිරීක්ෂණය කොට තිබුණේ එසේ කිරීමෙන් චීනය දෙමළ ජාතික සන්ධානය වෙත පැහැදිලිවම දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තමන් දකින්නට කැමති පාලන පිල වන්නේ රාජපක්ෂවරුන් බවයි.

මෙයට සමාන ලෙසින් සම්බන්ධන් සමගින් කථා කරනා ලෙසට මහින්ද පුද්ගලිකවම ගෝඨාභයට කියා සිටීම දමිළ දේශපාලන මත දක්වන්නන් විසින් අර්ථ නිරූපණය කර තිබුණේ, 2020 දී ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂවරුන්ගේ තේරීම ලෙස ගෝඨාභය තරග කරනු ඇති බවට ලකුණක් ලෙසිනි. තවදුරටත් උදයන් කතුවැකිය මගින් සම්බන්ධන්ට පසෙකින් හිඳ සිටි ගෝඨාභය රාජපක්ෂගේ සැහැල්ලු, ගෞරව සම්ප්‍රයුක්ත හැසිරීම් ලීලාව චිත්‍රණය කරන්නට යෙදුණේ, සුළුතර ඡන්දයන්හි වැදගත්කම ඔහු තේරුම් ගෙන ඇති බවට වන හැඟවුමක් ලෙසිනි. මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ මුස්ලිම් පෙරමුණක්ද පිහි‍ටුවීම සඳහා වන සැලසුම් සම්බන්ධයෙන් නිවේදනය කොට තිබේ.

තිනකුරල් ලිපියක් මගින් සඳහන් කොට තිබුණේ චීන අනුග්‍රාහකත්වය යටතේ රාජපක්ෂවරුන් මුණගැසීමට සම්බන්ධන් විසින් ගත් තීරණය මගින් අවධාරණය කෙරෙන්නේ, දමිළ ප්‍රජාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියාව දක්වන මන්දෝත්සාහී බව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් පෙන්නුම් කෙරෙන කලකිරීම බවයි.

සිංහල පුවත්පත් මගින් මෙම හමුවේ ඡායාරූප සහ ලුහුඬු ප්‍රවෘත්ති පළ කොට තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු මත දැක්වීමක් කර නොතිබුනි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top