මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එල්ලුම් ගස් යැවීමේ ජනපති තීරණය – තීන්දුයි, කැපයි | VIDEO

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ යුරෝපා සංගමය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ආයතන ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන වල විරෝධය නොතකා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අභිප්‍රාය ජනාධිපතිවරයා විසින් නැවත වතාවක් දැඩිව පල කර තිබේ.

එම මරණීය පියවර “නීත්‍යානුකූලව” ගැනීම සඳහා අවශ්‍ය කරන වාර්තා ලබන සතියේ ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පල කළේ දේශීය ඖෂධ වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ඖෂධ පැළ ලක්ෂයක් ඛෙදා දීමේ උත්සවයට සහභාගි වූවන් අමතමිනි.

මත්කුඩු ජාවාරම් කරන පුද්ගලයන් වෙත අධිකරණයෙන් ලබා දී ඇති මරණීය දණ්ඩනය අනුමත කිරීම සඳහා නීතිපති, අධිකරණ ඇමැතිගේ සහ අදාළ නියෝගය නිකුත් කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාව අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙන්වා දුන්නේය.

එය දේශයේ “ජාතියේ පුනරුදය ඇති කිරීම” සඳහා “යුද්ධයක් මෙන්” කළ යුතු මෙහෙයුම් අතරින් එකක් ලෙස හඳුන්වා දුන්නේය.

තිරසර සංවර්ධනය, මත්ද්‍රව්‍ය මර්දනය හා වන වගාව ජනාධිපති වරයා විසින් නම් කරන ලද මෙහෙයුම් තුනකි.

මරණ දණ්ඩනයේ පුනරුදයක් ඇති කිරීමට විරුද්ධව යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ කැනඩාව මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ ලංකා සභාව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කරුණු දක්වා ඇතත්, කොළඹ කතෝලික අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් වරයා සහ මල්වතු, අස්ගිරි බෞද්ධ පාර්ශව ඊට ප්‍රසාදය පල කර තිබේ.

ඖෂධීය ශාඛ රට පුරා වගා කිරීම සඳහා සහාය වන ලෙස යුද හමුදාවට ආරාධනය කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා එමගින් විදේශ වලට ඇදී යන කෝටි ගණනක ධනස්කන්ධය ඉතිරි කර ගත හැකි බවට විශ්වාසය පල කළේය.

Related posts

Comments are closed.

Top