මුහුද මණින චීන නැවක් ‘සුහද-නිල’ සංචාරයකට කොළඹ | VIDEO

මහා සාගරයේ මිනින්දෝරු කටයුතු කරන චීන හමුදා නෞකාවක් කොළඹට වරායේ නැංගුරම් ලා සිටී.

‘චෙයින් වේචැන්ග්’ ජල මානක සමීක්ෂණ නෞකාව අගෝස්තු 8දා කොළඹ වරායට සේන්දු වූයේ සුහද හා නිල සංචාරයක් සඳහා බව පවසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ජනමාධ්‍ය වෙත ලබා දී ඇත.

චීන ජාතිකයන් පිරිසක් චීන කොඩි වනමින් නෞකාවේ සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් සතුට පල කරන ආකාරයද එහි ඇතුලත් දර්ශන වල දැක්වේ.

නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, චින නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ කපිතාන් ඩොන්ග් යෑන් සහ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර්, චාන්ග් ජුයෝන්ග් ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී වී තිබේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි ද සහභාගි වී ඇත.

“සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත,” යි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

දිගින් මීටර් 129 ක් සහ පළලින් මීටර් 17 කින් යුත්  ‘චෙයින් වේචැන්ග්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 158 දෙනකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව අගෝස්තු  11 දා එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

පසුගිය වසරේ මාර්තුවේ පැමිණි ‘දර්ශක්’ ඉන්දීය සාගර මාපක නෞකා කාර්ය මණ්ඩලය දිවයිනේ දකුණු වෙරළ තීරය ආවරණය වන පරිදි කොළඹ සිට සංගමන්කන්ද දක්වා නාවික සිතියම් යාවත්කාලීන කොට ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදී තිබුනි.

Related posts

Comments are closed.

Top