ආදිවාසී නිජබිමකුත් යුද්දෙන් පස්සේ බලෙන් අල්ලලා |VIDEO

ශ්‍රී ලංකාවේ මුල්ම පදිංචිකරුවන් බව පිළිගැනෙන වැදි ජනතාවගේ පාරම්පරික භූමි ප්‍රදේශයක්ද යුද්ධයෙන් පසු බලහත්කාරයෙන් අත්පත් කරගැනීම නිසා මුහුණ පාන්නට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳව ආදිවාසී නායකයා විසින් හෙළි කර තිබේ.

ආදිවාසීන්ගේ ජගත් දිනය සමරා දඹාන කොටබකිනියේ පැවැති රාජ්‍ය උත්සවය අමතා ඌරුවරිගේ වන්නියලැත්තන් ප්‍රකාශ කරන පරිදි මෙසේ අල්ලාගෙන ඇත්තේ මඩකලපු දිස්ත්‍රික්කයේ වාකරේ ගම්මානයේ ආදිවාසී ජනතාව පදිංචිව සිටි භුමිය සහ ගොවිතැන් කළ ඉඩම්ය.

යුද්ධයෙන් පලාගොස් උන්හිටි තැන් අහිමිවී සිටින වැදි ප්‍රජාව සිය නිජභූමියේ නැවත පදිංචි කිරීම සඳහා පියවර ගන්නා මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි වන්නියලැත්තන් උත්සවයට පෙරදා රාත්‍රියේ පවත්වන ලද විශේෂ වරිග සභා රැස්වීමකදී තම ප්‍රජාව මුහුණ පා සිටින ආර්ථික අසීරුතා පිළිබඳව ආදිවාසී ප්‍රජා නායකයන් හෙළි කළ කරුණු උත්සව සභාව හමුවේ තැබීය.

“ජාතිය රැකෙන්න නම් ජීවිතය රැකගන්න උදව් කළ යුතුයි, ජීවත්වෙන්න නම් කන්න තිබිය යුතුයි,” යනුවෙන් ඌරුවරිගේ වන්නියලැත්තෝ කියා සිටියහ.

“පරම්පරාවයි, ජාතියයි ගැන මතක් වෙන්නේ බඩවියත රැකගත්තොත් විතරයි. බඩවියතයි පණනලයි නැතිවුනොත් ජාතියත් නෑ, පරම්පරාවත් නෑ, සිරිත් විරිත් මොන එකක්වත් නෑ.”

පසුගිය අවුරුද්දේ ද මෙවැනිම උත්සවයක් පවත්වා දුන් පොරොන්දු එකක්වත් ඉටු නොවීම ගැන ඌරුවරිගේ වන්නියලැත්තන් කනගාටුව පල කළේය.

පසුගිය අවුරුද්දේද වරිග සභාවක් පවත්වා ගන්නා ලද තීරණ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් අතට සංදේශයකින් භාර දුන්නත්, අද වනතුරු ඒ ඉල්ලීම් එකක්වත් ඉටුවී නැති බව බෞද්ධ කටයුතු පිළිබඳ  අග්‍රාමාත්‍ය උපදේශක හා මධ්‍යම සංස්කෘතික කටයුතු අරමුදලේ බෞද්ධ හා කලා කටයුතු උපදේශක අඹන්වල ඥානාලෝක හිමි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව සභාව අමතා ආදිවාසී නායකයා කියා සිටියේය.

“ජල ව්‍යාපෘතියකට මුල්ගල තියලා අද වෙනකොට අවුරුද්දක්. අවුරුද්දකුත් ගිහිල්ලා. හැම දේම හරිලු. සල්ලිත්  තියෙනවලු. හැබැයි කිසිම වැඩක් වෙලා නෑ.”

මහත් වියදමක් දරා ආදිවාසී සමරු පවත්වනු වෙනුවට වසරක් පාසා අඩුම වශයෙන් එක ගම්මානයක එක සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස ඌරුවරිගේ වන්නියලැත්තෝ යෝජනා කර සිටියහ.

උත්සවයක් සඳහා දරන වියදම ගමක සංවර්ධනය වෙනුවෙන් වැය කරන්නේ නම් අවුරුදු හයකින් සියලු ආදිවාසී ගම්මාන දියුණුවක් අත් කරගනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

Related posts

Comments are closed.

Top