මන්නාරම සමූහ මිනීවල ගැන වාර්තාකිරීම පොලිස් අවසරයට යටත් කෙරේ

 

මාස තුනකට ආසන්න කාලයක් රජයේ විමර්ශන බලධාරීන්ගේ අනුමැතියෙන් මන්නාරමේ සතොස සමූහ මිනීවලේ කැනීම් වාර්තාකළ මාධ්‍යවේදීන්ට ඒ සඳහා මෙතැන් පටන් පොලිසියේ අවසරය ලබාගැනීමට සිදුවී තිබේ.

සතොස අංගනයට පිවිස තොරතුරු ලබා ගැනීම සඳහා මෙතැන් පටන් කැනීම් කටයුතු වල ආරක්ෂාව භාර පොලිස් නිලධාරියාගේ නිල අවසරයක් ලබාගත යුතු බව මන්නාරම අධිකරණය නියම කර ඇත.

මන්නාරම මහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන් එම නියමය කර ඇත්තේ දරුවන් සහ කාන්තාවන් ඇතුළු 80 කට වැඩි පිරිසක ඇටසැකිලි ගොඩගනු ලැබූ සමූහ මිනීවලේ තොරතුරු වාර්තා කිරීම වලකාලමින්  අගෝස්තු 7 දා නිකුත් කළ තහනම් නියෝගයකට විරුද්ධව මාධ්‍යවේදීන් දෙදෙනකු ගොනුකළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය.

මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන නීතිඥ බාලසුබ්‍රමනියම් ඩෙනීස්වරන් නඩු තීන්දුව ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ තොරතුරු ලබාගැනීමට තහංචි පැනවීම මූලික අයිතිවාසිකමක් කඩකිරීමක් වග අධිකරණයට පෙන්වා දුන් බවයි.

විමර්ශන කටයුතු වලින් හෙලිකරගන්නා තොරතුරු පොදු මහජනතාවට දැනුම් දීම මාධ්‍ය නිදහසේ අංගයක් බවට ඔහු වැඩිදුරටත් කරුනු දක්වා තිබේ.

බාධාවකින් තොරව ප්‍රවෘත්ති ලබාගැනීම මාධ්‍යවේදීන්ගේ අයිතියක් බව තහවුරු කළ විනිසුරු වරයා රජයේ ලියාපදිංචි මාධ්‍යවේදීන්ට උදයට සහ සවසට පොලිස් අවසරයෙන් කැනීම් අංගනයට ඇතුල් විය හැකි බවට තීන්දු කර තිබේ.

පෙත්සම ගොනු කර තිබුනේ එස් ආර් ලැම්බර්ට් සහ පෙලිස්ටාස් පච්චෙක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසිනි.

Related posts

Comments are closed.

Top