සිරකාරියන්ගේ වහල උඩ විරෝධයට වීදියේත් සහාය | VIDEO

හිරගෙදර වධබන්ධන අත්හිටුවා නඩු විභාග කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් පිරිසක් තම අයිතිවාසිකම් ඉල්ලා කළ විරෝධතාවට සහයෝගිතාව පල කරමින් බන්ධනාගාර මුලස්ථානය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් පැවැත්විනි.

විසි දෙනකුගෙන් පමණ සමන්විත කාන්තාවන් කණ්ඩායමක් වැලිකඩ සිරගෙදර වහලය මත නැගී දෑත් ඔසවා හඬ නගමින් සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටින ආකාරය එහි ගිය මාධ්‍යවේදීන්ට දැකගන්නට ලැබුනි.

ඔවුන්ට සහාය දක්වමින් උද්ඝෝෂණයේ යෙදුනු සිරකාර අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය බන්ධනාගාරයේදී  රැඳවියන්ට වධහිංසා පමුණුවන බවත්, ආහාර හා සනීපාරක්ෂක පහසුකම් සලසා නොදෙන බවත් පවසා සිටියේය.

එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් චෝදනා කළ පරිදි රාජපක්ෂ පාලන සමයේ වැලිකඩ හා වවුනියාව  සිරගෙවල් තුල ඝාතන වලට සම්බන්ධ නිලධාරීහු දඬුවම් නොලබා තවමත් රාජකාරියේ  නිරතව සිටිති.

කාන්තා රැඳවියන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය දැඩි ස්වරයෙන් කියා සිටියේ නීති විරෝධී කටයුතු පාලනය කිරීමට පියවර ගන්නා අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද ජනපති තීන්දුව අත් නොහරින බවයි.

“වහලේ උඩ නෙවෙයි කොහේ නැගගත් යන පිළිවෙලට යනවා මිසක් අපිට වෙනසක් කරන්න බෑ,” යි තලතා අතුකෝරාල ඇමැතිනිය රත්නපුරයේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියාය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද තීරණය ඇතැම් බන්ධනාගාර නිලධාරීන් කුල්මත් කිරීමට හේතුවී ඇතැයි පැවසූ සිරකාර අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ නීතිඥ සේනක පෙරේරා ඇමැති පදවි දරන  කාන්තාවක්  රැඳවි කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය සම්බන්ධයෙන් කනගාටුව පල කළේය.

සිරකාර අයිතිවාසිකම් පිළිබඳව ශ්‍රී ලංකාවද අත්සන් කර ඇති ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව රැඳවියන්ගේ අයිතිවාසිකම් රැකීමට රජය බැඳී සිටින බව ගගන හා කියා සිටි නීතිඥවරයා සමස්ත බන්ධනාගාර ප්‍රතිපත්තියම ප්‍රතිසංස්කරණය කළ යුතු බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සිරගත කර සිටින පුද්ගලයන්ට නඩු පැවරීම සඳහා අනවශ්‍ය තරම් කාලයක් ගැනීමෙන් රැඳවියන්ට අසාධාරණයක් සිදුකිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද විවේචනයට ලක් වී තිබේ.

ඉතා දරුනු තත්වයන් යටතේ දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා  තබාගෙන ඉන්නා පුද්ගලයන්ට නඩු කටයුතු කඩිනම් කරගැනීම සඳහා වරද පිළිගැනීමට සිද්ධ වී ඇති බව පසුගිය වසර අගදී ශ්‍රී ලංකාවට පැමිණි අත්තනෝමතික රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව සිය නිල වාර්තාවේ දක්වා තිබුනි.

බන්ධනාගාර බලධාරීන් මෙන්ම අධිකරණයද හිතුමතේ සිරකොට තබා ගැනීමට හවුල් බව ශ්‍රී ලංකාවේ දස දින සංචාරයක නියැලී ආචාර්ය හොසේ අන්තෝනියෝ ගෙවාරා බර්මියුඩේස් ගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල දූත මණ්ඩලයේ නිරීක්ෂණය විය.

 

Related posts

Comments are closed.

Top