කට්ටි පනිමින් සිට කොටුවූ නාවික හමුදා නිලධාරියා රහස් පොලිසියට | VIDEO

පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ඝාතනය ගැන සැක කෙරෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියකු දෑවුරුද්දකට වැඩි කාලයක් අධිකරණය මගහැර සිටියදී රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන තිබේ.

අගනුවරදී අත් අඩංගුවට ගන්නා ලද ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලදුව පැය හතලිස් අටක් රඳවා තබා ගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසරය ලැබුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවසයි.

සැකකාර නාවික හමුදා නිලධාරියා  “කොණ්ඩය හා රැවුල වවාගෙන හැඩරුව මාරු කරගෙන කොලඹ කොටුවේ ලෝටස් පාරේ ඇවිදගෙන යද්දී සීඅයිඩී නිලධාරීන් පිරිසක් වෙන ගමනක් යද්දී” හඳුනාගෙන අත් අඩංගුවට ගන්නා ලද බව සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ගගන කළ විමසීමකදී කියා සිටියේය.

පොල්වත්තේ ගාල්ලගේ අශෝක යනුවෙන් නම සඳහන් ව්‍යාජ හැඳුනුම්පතක් සහිතව සැකකරු දොම්පේ ප්‍රදේශයේ ඉඩමක මුරකරුවකු ලෙස සේවය කරමින් සිටියැ’යි අනාවරණය වූ බව ද පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශගතව සිටි සැකකරු මාර්තු මාසයේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇතැයි රහස් පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එම්.සිල්වා වෙත වාර්තා කරන ලදී.

සැකකාර ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුහුදු මගින් රටින් පලාගොස් ඇති බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ පොලිස් පරීක්ෂක ඒඩ්රියන් නිශාන්ත සිල්වා මීට ඉහතදී උසාවියට දැනුම් දීමෙන් අනතුරුව ඔහු අත් අඩංගුවට ගැනීම පිණිස අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කර තිබුනි.

නම් පටලැවිල්ලක්

රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, ඩිලාන් මොහොමඩ්, මොහොමඩ් සජිත්, තිලකේෂ්වරම් රාමලිංගම්, තාග්‍යරාජා ප්‍රභාකරන්, සුසේයි පුල්ලේ අමලන් ලියෝන්, සුසෙයි පුල්ලේ රෝෂාන් ලියෝන්, කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ්, කස්තුරි ආරච්චිලාගේ ඇන්ටනි සහ අලි අන්වර් යන එකොලොස් දෙනා 2008-2009 කාල වකවානුවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කළ බවට සැක කෙරෙන්නේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසකි.

දස වසරකට ඉහතදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන කිරීම සම්බන්ධයෙන් සැකපිට පවරන ලද නඩුවේද එක් සැකකරුවකු වන්නේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චියි.

“නේවි සම්පත්” යනුවෙන්ද ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හඳුන්වන බව පොලිසිය ප්‍රකාශ කළත් එම එකොලොස් දෙනාට කරන ලද අපරාධ සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළ ලේඛන වල “නේවි සම්පත්” ලෙස දක්වා ඇත්තේ වෙනත් සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහයි.

එම නඩුවේ අනිකුත් සැකකරුවන් අතරින් ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක, තිලකරත්න ලක්ෂමන් උදය කුමාර, කාරියවසම් ගම්හේවගේ  නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස සහ රාජපක්ෂ පතිරණගේ කිත්සිරි යන නාවික හමුදා නිලධාරීහු ඇප ලබා නිදහස්ව සිටිති.

ජනවාරියේ අත් අඩංගුවට ගන්නා ලද කස්තුරිආරච්චිගේ ගාමිණී හෙවත් අම්පාරේ ගාමිණි සහ මුතුවාහැන්නදි ගේ අරුණ තුෂාර මෙන්ඩිස් රිමාන්ඩ් භාරයේය.

Related posts

Comments are closed.

Top