හොර ලියැවිලි හැදූ බවට සැක නාවික ලොක්කන් ගැන විභාග කිරීමට අවසර  | VIDEO

යුද සමයේ අවසාන භාගයේදී අගනුවර සහ ඒ අවටින් පැහැරගෙන ගිය පිරිසක් රහසිගතව රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා ඝාතනය කළ බවට සැක නාවික හමුදා නිලධාරියකුට අධිකරණයෙන් වසං වී සිටීමට උදව් දුන් බවට විශ්වාස කෙරෙන ඉහලම නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය රහස් පොලිසියට අවසර දී තිබේ.

එම විමර්ශන කටයුතු වල ප්‍රතිපල දැනුම් දෙන ලෙස ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත්තේ 2008-2009 රාජපක්ෂ පාලන සමයේ පැහැර ගැනීමෙන් අනතුරුව ආගිය අතක් නොමැති 11 දෙනකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි කොටුව අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථාවේය.

දෑවුරුද්දකට වැඩි කාලයක් යුක්තිය මගහැර සිටි වරෙන්තුකරුවකු වන ඔහු අත් අඩංගුවට ගැනීමට පෙර නාවික ප්‍රධානීන්ගේ ආධාරයෙන් විදේශගතව සිටි බව රහස් පොලිසිය විසින් දැනුම් දී තිබුනි.

පිටරට යාමටත්, ආපසු පැමිණ දිවයිනේ සැඟවී සිටීමත් සඳහා ප්‍රසාද් හෙට්ටිආරච්චි භාවිතා කර ඇත්තේ ව්‍යාජ ලියැකියවිලි බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.

විදෙස් ගතවීමට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ගැනීමට නාවික හමුදාවේ නිලධාරීන් යම් අනුබල දීමක් කර ඇතිනම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙස අධිකරණය දැනුම් දුන් බව 15 බදාදා පැවති නඩු විභාගයෙන් අනතුරුව අතුරුදහන් කරනු ලැබුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මාධ්‍යවේදීන් සමග ප්‍රකාශ කළාය.

යුක්තිය පතා සිටින වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින තමන්ට මාස හතරකට ඉහතදී එල්ලවූ තර්ජන පිළිබඳව මේතාක් කිසිදු පියවරක් ගෙන ගෙන නැති ආකාරයක් පෙනෙන්නට තිබෙන්නේ යයි හෙළිකළ නීතිඥ වරිය ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද අධිකරණයේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාව පළකර සිටියාය.

ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත්වරිය මේ මස 29 දා දක්වා ඔහු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

 

Related posts

Comments are closed.

Top