ව්‍යවස්ථාව අලුත් නොකර ජනාධිපතිවරණයකට යාම ළාමකයි: බාහු | VIDEO

ජනතාවට පොරොන්දු වූ පරිදි ව්‍යවස්ථාව වෙනස් නොකර ජනාධිපතිවරණයකට යාම සඳහා ජනාධිපතිවරයා  සැලසුම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පිහිටවීමට උර දුන් වාමාංශික නායකයෙක් සිය කනගාටුව පල කරයි.

අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා දීපව්‍යාප්තව විමසන ලද සම්පිණ්ඩනය කොට භාර දී ඇති විද්වත් වාර්තාව පාර්ලිමේන්තුවේ සංවාදයට භාජන නොකර මැතිවරණ වලට සූදානම් වීම නව සමසමාජ නායකයා විසින් හඳුන්වන ලද්දේ ළාමක කටයුත්තක් ලෙසිනි.

“ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කරලා, බලය බෙදීම ශක්තිමත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් රකින ව්‍යවස්ථාවක් හදනවා කියන එක තමයි ප්‍රධාන පොරොන්දුව වුනේ. ඒ පොරොන්දුව අමතක කරලා මේ විදියට කටයුතු කිරීම ලාමකයි,” යනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

ආණ්ඩුවේ වෑයම පරාජය කිරීම සඳහා පෙළ ගැසෙන ලෙස නසසප නායකයා ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට යෝජනා කළේය.

කොළඹ සහ ඒ අවටින් එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැක කෙරෙන නාවික හමුදා නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගැනීම ගැන ආචාර්ය වික්‍රමබාහු සිය ප්‍රසාදය පල කර සිටියේය.

එම අපරාධය සම්බන්ධයෙන් සැකපිට මේ සතිය මුලදී අත් අඩංගුවට ගන්නා ලද ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට අධිකරණයෙන් වසං වී සිටීමට උදව් දුන් බවට චෝදනා කෙරෙන හිටපු නාවික හමුදාපති සහ වර්තමාන කාර්ය මණ්ඩල ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට අවසර දී තිබේ.

යුද්ධය ඇවිල ගිය උතුරු නැගෙනහිරින් පිටත ප්‍රදේශ වලත් බරපතල මානව හිමිකම් උල්ලංඝන කරන ලද බව  මෙම පරීක්ෂණ වලින් හෙළි වන්නේ යයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top