සිසුවියන් අතපත ගෑ සංඝනායක හිමියන්ට උසාවි දඬුවම්

භාවනා පන්තියක දී නොමනා ලෙස සිසුවියන් ස්පර්ශ කිරීම පිළිබඳව වරදකරු බවට පත් කෙරුනු සංඝනායක හිමිනමකට අධිකරණයකින් දඬුවම් පමුණුවා තිබේ.

වරදකාර එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත හිමියන්ට පැය දෙසීයක් නොමිලේ සමාජ සේවයේ යෙදෙන ලෙස ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ අධිකරණය විසින් නියම කරන ලදී.

රේවත හිමියන් කාන්තාවන් තුන්දෙනකු කෙරේ තර්ජනාත්මක සහ අශෝභන අයුරින් හැසිරී තිබුනේ ග්ලාස්ගෝ මයින්ඩ්ෆුල්නස් මධ්‍යස්ථානයේදී (Glasgow Mindfulness Centre) ය.

ඒ 2015 අප්‍රේල් සහ 2016 මාර්තු අතර කාලයේදීය.

භාවනා මධ්‍යස්ථානයේ යෝග පන්තියකට සහභාගි වෙමින් සිටියදී ස්වාමීන්වහන්සේ තමන් අතපත ගෑ ආකාරය එක් කාන්තාවක් අධිකරණය හමුවේ විස්තර කර තිබුනි.

ඇය තනිව සිටිද්දී ඔහුගේ අඟ පසඟ ස්පර්ශ කරන ලෙස බල කරමින් ළඟට ඇදගත් බව එම කාන්තාව පවසා සිටියාය.

තවත් සිසුවියන් දෙදෙනකු කියා තිබුනේ අවස්ථා කිහිපයකදී ලිංගික යෝජනා කරමින් සිරුරු ස්පර්ශ කළ බවයි.

වරදකාර හිමියන්ට අසරණ පුද්ගලයන් හා වැඩ කිරීම තහනම් කරන තීන්දුවක් ගැනීම ගැන සලකා බැලීමට  නඩු තීන්දුව ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවට යොමු කරන බව විනිසුරු ඉයන් ෆ්ලෙමින් දැනුම් දී තිබේ.

ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඇමතූ මුල්ම බෞද්ධ භික්ෂුව වන රේවත හිමියන් 2014 එරට ජනමත විචාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා බීබීසී සිංහල සේවය විසින් සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගි කරවාගෙන තිබුනි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් ග්ලාස්ගෝ බෞද්ධ විහාරාධිපති බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කඹුරාවල සිරි රේවත හිමියන්ට ‘විශ්ව සමය සභාගචාරී ශ්‍රී සෝභිත’ යන ගෞරව නාමය සහිත එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක ධුරය පිරිනමන ලද්දේ 2009 අගෝස්තු මාසයේය.

රේවත හිමියන් ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ උපදේශන සහ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ දේශකයෙකි.

Related posts

Comments are closed.

Top